Tuesday, December 3, 2019

පාස්පෝට් | Passport



යමුද අයියෙ?
හ්ම්...

මං වෙන මොකුත් කියන්න ගියේ නෑ. කට වහගෙන එතනින් එළියට ආවා. ඇවිත් හෙල්මට් එකත් ඈට දීලා සද්ද නැතිවම බයික් එකට නැග්ගා. හීමිජ්ජා වගේ ඒකිත් පිටිපස්සට නැග්ගට පස්සෙ මං හරවලා ආපහු යන්න පටන් ගත්තා. මං දන්නෙ නෑ මොනවද වෙන්නෙ කියන එකවත්. ඇගේ මූණ පෙන්න හරවලා තිබුන සයිඩ් කන්නාඩියෙන් මං ඈ දිහා බලන් හිටියා. එයත් එහෙමයි. ඒ බැල්ම රැවිල්ලක් වගේ එයාට තේරුණාද කියලා මං දන්නෙ නෑ. ඒත්.. එයා ටික වෙලාවකින් අහක බලාගත්තා. මං එහෙන්මම වැව රවුමට බයිසිකලේ දාලා නැවැත්තුවෙ ඒ ගැන කතා කරන්න හිතාගෙන.

******************************************

මිස් එන්න ඇතුලට, ඔෆීස් එකේ හිටපු කෙල්ල අපිට කතා කලා. මං එළියට වෙලා ඈට ඇතුලට යන්න කිව්වත් ඈට ඕන උනා මාවත් එක්කන් යන්න. ඉතිං ඈ මගේ අ⁣තින් ඇදගෙන ඔෆිස් එක ඇතුලට ගියා. 

මට ඒ මොහොතෙ ඉදන් දැන් වෙනකං මතක් වෙන්නෙ ඒ සිදුවීම. ඒ කම්පනය. ඒක මට හීනියට වධ දෙන්න පටන් ගත්තා. මං හීනෙන්වත් හිතපු නැති විදිවට මේ කෙල්ල කොහේදොා් පඩංගුවක තිබිලා එකපාරට එළියට අරන් දුන්න පාස්පෝට් එක. මං එකපාරටම කෙල්ලගෙ අතින් අල්ලගත්තෙ නොදැනුවත්වම වගේ.

හසී... 
ම්.. අයියෙ
මොකක්ද මේ විකාරේ තේරුම?

මං ඇගෙන් උත්තරයක් බලාපොරොත්තුවෙන් නොවුනත් ඈ දිහා බලාන හිටියා. මං දැනගෙන හිටියා මේ වගේ වෙලාවට කවදාවත් කෙල්ලෙක් වචනයක් එළියට පිට නොකරන බව. ඒ වගේම ඇගේ  ඇස් වේදනාව පිට නොකරන්නට මහත් වෑයමක් ගත්තා. නමුත් ඒක මගෙ ඇස් වලට වහන් කරන්න ඈට පුලුවන් වුනේ නෑ. මං ඇගේ ඇගිලි තුඩු වලින් අල්ලගත්තා...

ඔයාගෙ අම්මටයි ඔයාටයි ජීවත් වෙන්න සල්ලි කීයක් ඕනෙද?
මං දන්නවා ඒක පරිපූර්ණ ප්‍රශ්නයක් නොවෙන විත්තිය. ඒත් මට පටන් ගන්න වෙන තැනක් තිබුනෙ නෑ. ඒකි මූණ කොනින් හිනාවුනා. වැහි වලා අටෝරාසියකට පස්සෙ ඉර එළියක් වැටුනා වගේ.
අයියා සල්ලි දෙන්නද, ම්...

මාත් දැනන් හිටියා මට ඒක කරන්න බැරි විත්තිය හොදටම, ඒත්.. මගෙ ලග ඒකට විකල්පයක් තිබුනා.
මට පුලුවන් ඔයාව මැරි කරන්න.
එයා මං දිහා බැලුවා.
මැරි කරා කියලා ප්‍රශ්නෙ විසදෙනවාද?
නෑ, ඒත් ප්‍රශ්නෙ මෙච්චර දුරදිග යන්⁣නෑ.
ඔයාට පුලුවන් මගෙ ගෙදර ඉන්න අම්මවත් එක්ක ඇවිත්. ඔයාගෙ පඩියෙන් පුලුවන් අම්මව බලාගන්න. මට පුලුවන් ඔයාව බලාගන්න. ගෙදර ප්‍රශ්නෙත් ඉවරයි, අම්මගෙ ප්‍රශ්නෙත් ඉවරයි. ඔයා ඔච්චර දුක් විදින්න ඕනිත් නෑ.

ඈ මං දිහා බැලුවා.
හදිසියෙ තීරණ ගන්න බෑනෙ අයියෙ
හදිසියක් නෑ.. හිතලා බලන්න... මොකද කියන්නෙ, ම්....
මෙහෙම කියලා බෑනෙ ඉතිං...
කොහොමද කියන්න ඕනි ඔයාට, මං ඒ විදියට එන්නම්කො. එතකොට හරිනෙ.
පිස්සු ඔයාට... සමහරවිට, ඒත්
අද මං ඔයාගෙ මූනෙ හිනාවක් දැක්කා. ඒකට හේතුවත් මං දන්නවා.
මොකක්ද?
ඔයාම කියන්න, ම්... කවුද කියලා
අයියා හරි, ඒත්...
මං කියන්නෙ නෑ මං ඔයාට සැප පහසුව දෙන්නම් කියලා, ඒත් මට පුලුවන් ඔයාව සතුටින් තියන්න...

ඒත් මං කැතලික් එක...
හසී...
ම්... අයියෙ,
මතකද 21 බ්ලාස්ට් එකට කලින් අපි මීට් උන දවස. එදා වගේ පුලුවන් හැමදාම පන්සලුත් යමු, චර්ච් එකටත් යමු. 

ඈ මගෙ ඇගිල්ලක් අත ගගා කල්පනාවට වැටුනා. ඒත්... ⁣මං පොඩ්ඩක්වත් කැමති උනේ නෑ ඈ කල්පනා කර කර හරි දුක් විදනවටවත්.
මට ඕන උනා එයාව කතාවට අල්ලගන්න, මං ලග ඉන්න වෙලාවෙවත් අඩුම. දුක ඈත් කරලා තියන්න.

දන්නවද දෙයක්?
ම්...
මං මේ කල්පනා කලේ... සල්ලිවලට කරන්න පුලුවන් දෙයක්!
ඈ මං දිහා බැලුවා. ඔයා වගේම...


Sunday, October 27, 2019

කලු කෝපි | Black Coffee


අයියේ, ම්...
මොනවද බොන්න කැමති තේද, කෝපිද?
කලු කෝපි... 

හුග කාලෙකින් බිව්වෙ නැති නිසා මං එහෙම කිව්වා. මං දිහා අමුතු ආදරණීය බැල්මක් දාපු ඈ දඩි බිඩියට බෑග් එකෙන් ගත්තු අඩුම කුඩුම මේසය මතින් තියලා වැඩ පටන් ගත්තා. ටවල් එකත් ඇදන් හනි හනිකට ඈ කෝපි හදන දිහා මං බලාන හිටියෙ හරිම සැහැල්ලු හැගිමකින්. මට ඇගෙන් දිස්වුනේ හරිම පරිණත බවක්. හරියට මාතුභාර්යාවක් වගේ... පැය ගණනක ඇසුරක් උනත් ඒ පැය ගණනට මං ගොඩක් ආදරේ කරන්න ගත්තා. ඒක ලිංගිකත්වය විතරක් කියලා අවතක්සේරු කරන්න හදන්නෙපා. ඈ මට සළකපු විදියට, මට කෙයාරින් කරන විදියට මං ගොඩක් ආදරේ කලා... ආශා කලා...

******************************************


කරන්න කිසිම වැඩක් නැතිව ගෙදර ඉන්න කම්මැලි කමටම ටවුන් එකට ආපු මං පැය තුනක් හතරක් විතර ටවුමෙ රස්තියාදු ගැහුවෙ වෙන කරන්න දෙයක් නැතිම තැන. කරුමෙට වගේ එකපාරටම සෙට් උන කවදාවත් දැකලා නැති තවත් රස්තියාදුකාරයෙක් එක්ක දුමක් එහෙම දාලා කාරිය තව පැය කීපයක් කලු කරපු මං හැන්දෑවෙ 6ට විතර ගෙදර යන්න කියලා බයිසිකලේට නැග්ගා. බස් ස්ටෑන්ඩ් එක ලගින් මේන් රෝඩ් එකට දාන්න හදද්දිම එකපාරට පාර හරහා පැන්න මරිමෝඩ  කපල් එකක් නිසා මට බයික් එකේ ස්පීඩ් එක අඩු කරන්න සිද්ද උනා. ඒ සැනින් පාරෙ දකුණු පැත්තෙන් බස් ස්ටෑන්ඩ් එකේ ඉදන් ගෑණු ළමයි දෙන්නෙක් කතා කරකර ඉස්සරහට ගියා. කඩාගෙන බිදගෙන යන තරමේ වේගයකින් ගියපු මං එයාව දැක්කෙ මොන විදියකටද කියලා මට තාමත් තේරුම්ගන්න බෑ එත්... මීටර් කීපයක් ඉදිරිය⁣ට ගියපු බයිසිකලේ ක්ෂණිකව යූ ටර්න් එකක් ගහලා නැවැත්තුවේ ඇගේ කකුල් දෙක ලග. ඒ ආපු ස්පීඩ් එක⁣ට ඇගේ යාලුවා පාරෙන් පැත්තකට පැන්නා. 

"හලෝ..." 
මං හිතුවේ ඈ මාව අදුරගනීවි කියලා, මං නැතත් අඩුමගානේ බයිසිකලේවත්. එහෙම පාටක් පේන්න තිබුනෙ නැති නිසා මං හිමීට හෙල්මට් එක ගලවල අතට ගත්තා.

නංගි,...
ඈ මං දිහා බලාන උන්නා විතරමයි. මං කලෙත් ඒක. දෙනෝදහක් මැද අපි දෙන්නා  අපි දෙන්නාගෙ ඇස් දිහා බලාන කොච්චර වෙලාවක් හිටියද කියන එක මට හරියටම මතක නෑ. ඒ තරම⁣ටම අපි දෙන්නා ගල් වෙලා හිටියේ, මට වඩා ඈ. විනාඩි කීපයකට පස්සේ ඈ පලමු වතාවට හෙල්ලුනා... හෙල්ලුනා නෙමෙයි ගැහෙන්න ගත්තා, හරියට මූදෙන් ගොඩ දාපු මාලුවෙක් වගේ. ඈ හිනාවෙන්න සෑහෙන බැරෑරුම් ආයාසයක් ගත්තා. අන්තිමට වෙව්ල වෙව්ල හිනාවුනා, යන්නම් අයියෙ. ඈ කිව්වෙ එච්චරයි.


"ඉන්න, මට ටිකක් කතා කරන්න ඕනි." මං දන්නෙ නෑ ඒ හයිය මට කොහෙන් හම්බුනාද කියලා. එයත් කට්ට නෑ, මං කෝල් එකක් දෙන්නම් අයියෙ. එහෙම කියලා මාරු වෙන්න! මං ඈ ගැන හොදට දන්නවා, හොදටම... රෑ වැටුන වගේ දවල් වැටෙන්න මං පොඩ්ඩක්වත් කැමති උනේ නෑ.

"දැන් මිස් එකක් ගහන්න, දැන්ම..."
එයා ෆොන් එක අරන් මගෙන් නොම්මරේ ඉල්ලුවා. නෝට් සෙවන් සික්ස්... මගෙ ⁣ෆෝන් එක රින් වෙනකං ඈට ලිස්සලා යන්න මං ඉඩ දුන්නෙ නෑ. යංතං නොකියා ටියුන් එකෙන් කලිසම් සාක්කුව වයිබ්‍රේට් වෙද්දිම ඈ ගියෙ මෙහෙම කියාගෙන.. මං ලග ඔයාගෙ නම්බර් එක තියෙනව අයියෙ. මගෙ පැත්තට දික් කරපු ඇගේ ෆෝන් එකේ මං දැක්කා මගෙ ෆොටෝ එකකුත් එක්කම නම සේව් වෙලා තියෙනවා.. තාමත් xxxx අයියා කියලා...


******************************************


ඔයා එදා බෙහෙත් බිව්වෙ නැ නේද නංගි, මං වසරකට පෙර මතකයක් අවදි කලා. ඒකට එයාට දෙන්න උත්තර තිබුනෙ නෑ. ඒ ඇස් කදුලින් තෙත් වෙලා තිබුනා විතරයි. ඇයි එහෙනම් එදා මට බොරු කිව්වෙ, බිව්වා කියලා. 
මට ඕනෙ වුනා ඔයාව මට ලැබුනෙ නැතත් ඔයාගෙන් මට ලැබුනු වටිනාව වස්තුව පරිස්සම් කරගන්න. විනාස කරගන්න නෙමෙයි. ඒත්...ඒත්?
ඇත්ත.. ඒත් එදායින් පස්සෙ මට බැරිවුනා ඒ ගැන අහන්න. බිව්වාට පස්සෙ මං හිතාන හිටියේ හැමදේම හරියයි කියලා. ඒත් මට දැනුනා මං ගොඩාරියක් ලොකු වරදක් කරලා තියෙන විත්තිය. ඈ මං නිසා කොච්චරක් නම් දුකක් විදල ඇත්ද, තාමත්... කොච්චර නම් දුකක් විදිනවද?

මට මැවිලා පෙන්න ගත්තා, බයික් එකෙන් කැම්පස් එකේ ගේට් එකෙන් ඇතුලට දාපු තැන ඉදන් ගර්ල්ස් හොස්ටල් එක ලගට යනකං වෙච්ච හැමදේම, පාරේ හිටපු කොල්ලෙ කෙල්ලො ගාන.. උන් බයික් එක දිහා ඇස් ගෙඩි ලොකු කරන් බලන් උන්නු විත්තිය. මං හොස්ටල් එක ලගටම වේගයෙන් ඇවිත් ගේට් එකේ සිකියුරිට් ඇන්ටි ලගම ඈ සිපගත්ත හැටි, සමුදුන්න හැටි.. හැමදේම... එත් ඉන්පසුව මං ලග තියෙන්නෙ ඇගේ අත්දැකීම්වල මතකය විතරමයි... 

එදා පටන් දින දෙක තුනක් යනතුරු ඈ අසනීපෙන් හිටපු හැටි. වේදනාත්මක කෙදිරිලි හඩ පපුව කකියවන හැටි. ඇගේ ජීවිතයේ එකම බලාපොරොත්තුව ගර්භාෂ බිත්තිය සමග ගැලවී වේදනාව පමණක් ඉතිරි කරමින් දෙකකුල් අතරින් ගලා ආ හැටි. ඒ වනවිටත් ඒ කිසිවක් හාන්කවිසියක්වත් නොදැන කිලෝමීටර් සිය ගණනක් මෙහා මා සිටි හැටි. ඒත්.. ඒක මිස් වීමක් නෙමෙයි. ප්ලෑන් එකක්. ඒ ප්ලෑන් එක මගෙ නෙමෙයි කියලා විතරයි මං දැනන් හිටියෙ.


හැතැම්ම සිය ගණනකට එහායින් ඇහෙන සජීවී නමුත් වේදනාත්මක කෙදිරිලි හඩ දරාගෙන ඉන්න එක මට ලේසි උනේ නෑ. ඒත්, වසර හතරක් පුරාවට දකින්නටවත් දැතිව, ආරංචියක්වත් නැතිව පොඩ්ඩක්වත් අඩුවකුත් නැතිව ආදරේ කරනව කියන්නේ ලේසි පාසු වැඩක්ද? ඒ කැපකිරීම කරපු සහ දරනටමත් රහසිගතව කරන ඒ ගැහැණිය වෙනුවෙන් මා ලග සිටිය යුතු නොව්ද? හිත මාත් එක්කම තර්ක කරන්න ගත්තා. ඔව්, මං තිරණයක් ගත්තා, වයිෆ් වෙනුවෙන්...
වයිෆ්?👀ඔව්, මේ තරම් කැපකිරීමක් මා වෙනුවන් කල එකම පිටස්තර කාන්තාව,  ඈ මගෙ නෝනා මහත්තයා නෙමෙයිනම් වෙන කවුද? මා අගේ සුරත දැඩිව ග්‍රහණය කරගත්තා... 


අයියේ, මං ලගට එන්න එපා. මං අදටත් ආදරේ කරනව, ඔයා ම⁣ට දීපු වස්තුවට. ඒත්... මට බැරිවුනා ඒක රැකගන්න. ඒත් මගෙ ජීවිතේ ලස්සනම දවස මට දුන්නාට
 "ඔයාට පිං"...

Tuesday, August 6, 2019

රොමෑන්තික තල් සෙවණ


ඈත ඉදන් කඩාන එන මූදු හුළගට පොයින්ට් එක වටකරලා තිබුන තල් අතු ගැලවෙන්න ඔන්න මෙන්න වගේ හෙලවෙනව. මං දකුණු අත වෙපන් එකෙන් උඩට අරන් කැප් එක ආයෙමත් හදාගත්තා බැරිවෙලාවත් හුලගට අහුවෙලා යයි කියලා බයෙන්. වටපිටාව හරිම කලුවරයි. පේන තෙක් මානෙක ඉස්සරහින් තියෙන්නෙ මූද විතරයි. ඒ අතරින් අපේ බෝට්ටු කීපයක් පැද්දි පැද්දි නවත්තලා තියෙනව යාන්තමයට වගෙ පේනව. මං ඈත අහස දිහා බැලුවා. කට්ට කලුවරයි හදවත් පායලා නෑ. පෝයක්වත් අහලක නැද්ද. මං කල්පනා කරන්න ගත්තා.

මං තල් අතු වැට පහු කරලා අඩියක් දෙකක් ඉස්සරහට උනා. එතැනින් පහල මූද. ඒ කිව්වෙ ඉමක් කොනක් නැති මහ සාගරය. ඒ එක්කම එතැන පොඩි බීච් එකක් හැදිලා. හරිම නිස්කලංකයි. ඒ වගේම ලස්සනයි. මට ඒ තත්පරේට ඈව මතක් උනා. ඇගෙ අත අල්ලාන ඔහේ කියව කියව වැල්ලෙ ඇවිදපු දවස් මතක් උනා. රැල්ල පාගන්න ගිහින් හොදටෝම තෙතබරිත වෙච්ච මොහොතවල් මතක් උනා. කිසිම වගකීමක් අරමුණක් නැතිව ඔහේ මූද දිහා බලන් හිටපු හැටි මතක් උනා. ඇත්තටම මූද අපිට කොච්චර නම් සමීපද?

සේපාලිකා මලයි
සුදු පාට මීදුමයි
හරි ලස්සනයි සුදුයි
ඈත්තටම ඔබ වගෙයි..

මං ආයෙම පියවි තත්තයට ආවෙ වම් උරපත්තෙ ආපු වේදනාවත් එක්ක. වෙපන් එකේ පටියට උරහිස කකියනව ඉවසුමක් නෑ. මං හිමීට වෙපන් එක අනිත් පැත්තට මාරු කරන් ආයෙමත් මූදට ෆෝකස් උනා. ඈතින් ඇහෙන මෝටර් සද්දෙට අනුව මං ඈත ක්සිතිජය පැත්තට ආවධානය දුන්නා. ඉදලා හිටලා දැල්විලා නිවිලා යන ටෝච් එලී වගේ ලයිට් පාරක් එක්ක මූද දෙබෑ කරගෙන ආපු අපේ බෝට්ටුවක් ඈත පේන පියර් එකට ලගාවුනා. ඒ ටිකට ගතවුනෙ තත්පර කීපයක කාලයක් විතරයි. ඒ සද්දෙත් වියැකිලා ගියාට පස්සෙ ඉතුරු උනේ හුලං සද්දෙයි මූදෙ සද්දෙයි විතරමයි. මං ඒ දිහාට කන තිබ්බා. මූදූ රැල්ල ඈත ඉදං එයාගෙ පාඩුවෙ ඇවිත් වැල්ලෙ වැදිලා බිදිලා යනව. ආයෙ ආයෙමත් ඒකම වෙනව. කොච්චර බලං හිටියත් ඌට එපා වෙන්නෙත් නෑ අපිට එපා වෙන්නෙත් නෑ...

මන්දාරමෙන් එහා
දෙව් දුවක් ඈති බලා
මට යන්න දෙන්න සියුමෑලියේ
සුවද සොය සොයා
මෙ රාත්‍රියම නිසන්සලයි
එත් ඔබ නිසා..

මං එයාගෙ ගෙදරට මීටර් 100ක් විතර මෙහායින් වාහනේ නැවැත්තුවා. "දැන් හොද ළමයා වගේ පරිස්සමින් ගෙදර යන්න" මං කිව්වෙ එච්චරයි. එයාගෙ ඇස් පිරිලා තිබ්බෙ මුරණ්ඩුකමකින්ද, දුකකින්ද, ආදරයෙන්ද කියලා මට හිතාගන්න බැරිඋනා. "මට ගෙදර යන්න බෑ..." එහෙම කියපු එයා මගෙ වම් අත බදාගෙන උරහිසට තුරුල් උනා. මං සැනසුම් සුසුමක් හෙලුවා විතරයි...

මට කවදාවත් නැතිව ඒ රළ බිදෙන  සද්දෙ අමුතු ලස්සනක් ඇහෙන්න ගත්තා. ඔව්, දුර ඈතක හිටියත් මේ මූදෙම එහා පැත්තෙන් ඔයාත් මං ගැන හිත හිත ඇති. මං එනකං මග බලාගෙන ඇති. සමහරවිට, මේ සද්දෙම ඔයාට ඇහෙනවත් ඇති. ඉතිං මං මොකටද දුක් වෙන්නෙ. මගෙ මූණට හිනාවක් ආවෙ මටත් නොදැනීම.

මල් පිපෙන තුරු ලතා
මද සුලගේ නෑලවුනා
සිත දකින දකින සිහිනෙදි ඔබ
මට මතක් වුනා
ඈසි පිය හෙලන්න මොහොතක්වත්
මතක නෑති වුනා..


Wednesday, May 15, 2019

අපේක්ෂාවක් රැගෙන - අපේක්ෂා රෝහලට...


ශ්‍රී ලාංකිකයන් කියන්නෙ හරිම ලස්සන ජාතියක්. පාට, පක්ෂ, ආගම්, ජාතීන් කොච්චරවත් මේ සුන්දර ලංකාවේ ජීවත් උනත් පොදු දේකදි මේ හැමෝම එකට එකතු වෙනව තරම් ලස්සනක් තවත් නෑ. අපි ටිකක් ආපස්සට ගියොත් අප්‍රේල් 21 දින ප්‍රහාරය එල්ල වන්නට පෙරාතුව ලංකාවේ හැමෝම හිටියෙ වෙනම මාතෘවකම, වෙනම අරමුණක. ඒ තමයි මහරගම පිළිකා රෝහලට Tomo-Therapy හා Linear Accelerators යන්ත්‍ර දෙකක් අරන් දෙන්න තිබුන උවමනාව. ඒ අතරේ අවාසනාවන්ත ලෙස සිදුවුන ත්‍රස්ත ප්‍රහාරය නිසා රටේම අවධානය වෙනතකට යොමු උනා. නමුත් ඒ අතරතුර අහම්බෙන් වගේ අපේ 5H Foundation of Volunteers සමාජය මගින් දැන අදුනාගන්නට ලැබුන රට පුරා වෙසෙන තරුණ තරුණියන් සමූහයක් විසින් අපට පුලු පුලුවන් ආකාරයට මහරගම අපේක්ෂා රෝහලට දෙයක් කරන්න යෝජනාවක් ආවා. ඉතිං ඒ පිළිබදව අපේ 5H Foundation of Volunteers ඇඩ්මින් මඩුල්ලට යොමු කරලා අනුමැතිය එහෙම අරගෙන කාරිය අපි මහන්සි ගත්තා ඒ වෙනුවෙන් අපිට කරන්න පුලුවන් දෙයක් පිළිබදව අවධානය යොමු කරන්න. අපේ කතාබහ අතරතුර නොයෙකුත් යෝජනා ආවත් අපි අන්තිමට කතා වුනා අපිට ඕනි දේ කරනවට වඩා ඇත්තටම අපේක්ෂා රෝහලට මේ වෙලාවේ ඕන කරන්නෙ මොකක්ද කියලා හොයලා බලන්න. ඉතිං රටේ තිබ්බ කලබල අස්සෙ උනත් ගෙවල් වලිනුත් බැනුම් අහගෙන අපේ මධූ, අරවින්ද, පසී, සචී, රිෂී ඇතුලු සෙට් එකක් ගිය සදුදා (13 වෙනිදා) මහරගමට ගියා. ගිහින් එහෙම කාරිය එහෙ පරිපාලන නිලධාරී මහත්වරුන් හා වෛද්‍ය නිලධාරීන් හමුවෙලා අපෙන් වෙන්න ඕනි දෙයක් පිළිබදව විමසුවා. ඒ වෙලාවෙදි තමයි අපිට දැනගන්න ලැබුනේ අපේක්ෂා රෝහලේ සිටින අපේම අම්මලා තාත්තලා අතර ශාරීරික වශයෙන් ඉතාම අසාධ්‍ය තත්වයෙන් ඉන්න උදවියත් ඉන්නවා කියලා. ඒ අයට නිසි පෝෂණයක් ලබාදීමට අතිරේක ආහාර ලෙස මිලෙන් වැඩි ඉහල මට්ටමේ පෝෂණයක් සහිත කිරිපිටි වර්ග දෙකක් ගැන එම වෛද්‍යවරුන් අපිට සැලකර සිටියා. ඒ වගේම ඒවා ලබාදෙන්නේ අසාධ්‍ය මට්ටමේ රෝගීන්ට පමණක් බවත් ඒ අතර සිටින ඒ නිසි පෝෂණය ලබාගැනීමට නිර්දේශකර ඇති නමුත් ආර්ථික අපහසුතා ඇති අම්මලා තාත්තලට ඒවා ලබාදීමට හැකිනම් එය උතුම් ක්‍රියාවක් බවත් අපිට රෝහල් වෛද්‍යවරුන් පවසා සිටියා.


ඒ වගේම හැම කෙනෙක්ම වගේ දැනට කරගෙන යන තැඹිලි, ආහාර ද්‍රව්‍ය පරිත්‍යාගයන් හා සංගීතමය මනෝවිද්‍යාත්මක වැඩසටහන් වලට වඩා ඒ වගේ දෙයක් කරන්න කැමති නම් රෝහල් කාර්යය මණ්ඩලය ඉතාම සතුටු බව අපට දන්වා සිටියා. ඉතිං ඒ පිළිබදව තොරතුරු ඒකරාශී කරගෙන අපේ ටීම් එක ඇවිත් අපි හැමෝම එක්ක වගේම ඇඩ්මින් මඩුල්ල එක්කත් ඒ තොරතුරු බෙදාහදාගෙන අදහස් විමසන්නට පටන් ගත්තා. ඉතිං අපි හැමෝගෙම ඒකමතික අදහස උනේ අපිට ඕන දෙයක් කරනවට වඩා අපේක්ෂා රෝහලට මේ වෙද්දි අතවශ්‍ය වෙලා තියෙන දෙයක් කරන එකෙන් අපිට වඩාත් සාර්ථක දෙයක් කිරීමට හැකි බවයි. ඉතිං අපි මේ පිළිබදව නිසි ව්‍යාපෘති සැලැස්මක් හදලා ඇඩ්මින් මඩුල්ල දැනුවත් කරලා ඒ අයගෙන් ආශිර්වාද අරගෙන මේ වැඩේට අවතීර්ණ උනා. ඉතිං අපේ අරමුණ තමයි අපේක්ෂා රෝහලේ ඉන්න මේ වැඩිහිටියන්ට තව දවසක් හරි ජීවත් වෙන්න ශක්තියක් ලබාදෙන්න එයාලට අතවශ්‍ය පහත සදහන් ඉහල ප්‍රෝටීන් සහිත කිරිපිටි වර්ගයක් ලබාදෙන එක.

Pentasure 2.0   - 400g ටින් 25   ( Rs 2800 )
Isocal Powder  - 425g ටින් 25   ( Rs 2495 )

ඉතිං මේ වැඩේට උදව් කරන්න ඔයාලයත් පුලුවන්. ඔයාලට පුලුවන් ද්‍රව්‍යමය ආධාර ලෙස ඉහත සදහන් අධි ප්‍රෝටීන වර්ග රැගෙන දීමෙන් හෝ මූල්‍යමය ආධාර වශයෙන් ආධාරයක් අපිට ලබාදෙන්න. වැඩි විස්තර සදහා පහත සදහන් දුරකතන අංක වලින් අපිව සම්බන්ධ කරගන්නත් පුලුවන්. අපේ 5H Foundation of Volunteers ගෘප් එක පිළිබදව තොරතුරු, වැඩි විස්තර දැනගන්න, අප සංගමය මගින් මීට පෙර අවස්ථාවන්හීදි සිදුකරන ලද සමාජ සේවා පිළිබද තොරතුරු දැනගන්න පහත සබැදි හරහා අපේ ෆේස්බුක් ගෘප් සමග සම්බන්ධ වෙන්නත් ඔබට හැකියාව තියෙනවා.

Contact Us:                 📱 070 55 35 963  -  සචිනි
                                    📱 076 68 84 382  -  මලිත

Project Details:            👉   https://www.facebook.com/5hfoundationsl



"ඔබ පරිත්‍යාග කරන්නේ එකම එක රුපියල් පනහක් වුවද එය ඔවුන්ගේ ජීවිතය තවත් එක දවසක්වත් ජීවත් කරවනු ඇත"


Friday, May 3, 2019

විරාමය | The Intermission


ජනෙල් කූරු අතරින්
හමාඑන සුළග
පවසන්නේ
නිමාවද
තවත් දිනයක 
නැතහොත්
ඇරඹුමද
කුරිරු මොහොතක
ගතට නැගෙන වෙහෙස
පරයා ගැහෙන
දෙගිඩියාවෙන් පසුවන
හදවත
රිදුම් දෙන, කකියන
අතපය
අතරතුර
මේ ගෙවෙන්නේ
හෝරා කීපයයි
ආරක්ෂාව යටතේ
සගයාගේ
නිදන්නට ලැබෙන
සීතල
මුරකුටිය තුල...

Tuesday, March 26, 2019

නොස්ටලොජියාවක මතක | Memories of Nostalgia



මං වෙනදා වගේම ටෝච් එකයි  වෙපන් එකයි අතේ තියාගෙන පොයින්ට් එකට වෙලා පාර දිහා බලාන ඉන්නවා. දවස පුරාම දුවලා පැනලා මහන්සිවෙලා ඇගට හරිම අමාරුයි, නිදිමතයි, ඊටත් වඩා බඩගිනියි. ඒත් මොනවා කරන්නද? මං හැමදාමත් වගේ මේ වෙලාවට කරන්නේ වෙපන් එක පරිස්සම් වෙන විදියට, කාටවත් ගන්න බැරි විදියට අතේ තියාගෙන ටෝච් එකත් සාක්කුවට දාගෙන ඈත අහස දිහා බලාගෙන කල්පනා කරන එක. ඒක ටයිම් පාස් කරන්න මාරම කික් එකක් දෙනවා. ඒ වගේම ගතවෙන දවස්  ගැන පොඩි සෙල්ෆ් රිවීව් එකක් ගන්නත් මරු චාන්ස් එක. ඉතිං හැමතිස්සේම ඒ අතීතට මතක් කරද්දි ඒ මොමන්ට් එකට, ඒ මෙමරි එකට සෑහෙන ලොකු ඉඩක් වෙන්කරලා තියෙනවා මගෙ මතකය ඇතුලේ. ඇයිද කියලා මං දන්නෙ නෑ හරියටම. ඒත් ඒක හරිම නෙස්ටොලොජික් ඉමෝෂන් එකක්.

දීප්තිමත් ආලෝකයක් එක්ක පොයින්ට් එකේ පැත්තකින් මතු වෙච්ච කාර් එකක් කට්ට කලුවර කපාගෙන වේගයෙන් ඇතුලට යන්නේ අවට පරිසරයෙ තිබ්බ පාලු මූසල ගතිය කුඩු කරගෙන. ම්ම්... වෙලාව පාන්දර 1ට විතර ඇති. ඒත්, මට බෑ ඒක හරියටම කියන්න. මොකද මං ලග ඔරලෝසුවක් නෑ ඒත්... හැමදාම වගේ මේ වෙලාවට තමයි ඒ වාහනේ යන්නේ ඩියුටි පොයින්ට් එක පහුකරගෙන. එතනත් කරෙක්ෂන් කරන්න  වෙන තැනක් තියෙනව. හැමදාම කිව්වට දවසක් ඇර දවසක් වගේ තමයි මං දකින්නෙ.

"ඇදෙන් බහින්න එපා මාස තුනක් යනකං. ඊට පස්සෙත්  රෝද පුටුව යූස් කරන්න වෙයි" ඩොක්ටර්  කිව්වෙ නං එහෙම. ඒ මීට අවුරුදු 10 කට කලින්. කාලය ගතවෙච්ච වේගය. හෙට උදේ පාන්දර ඇහැරිලා වත්ත වටේ දුවන්නත් එපැයි වට 10ක් විතර. ඒ වේදනාව මතක් වෙද්දිත් පපුව හෝස් ගාලා යනව. ඒත්, මං හිත හදාගන්නෙ හරිම බොළද විදියට. හැබැයි ඒකත් සාර්ථකයි. පිටිපස්සෙන් පොලු අතේ තියන් පන්නද්දි, නිදිමතයි මහන්සියයි එක්ක සීතල සරදම් කරද්දි, මං ගුටි නොකා මරබියේ දුවනව  නෙමෙයි දිව වෙනවා. ඉතිං මං බයික් එකක් ගැන මනෝ පාරක් ගහන් අනිත් උන් අස්සෙන් ඉස්සරහට යනව. නෑ... යැවෙනව! පොයින්ට් එකේ මගෙ තනියට මගෙ ඇද බඩියත් ඉන්නව  ගොඩක් දවස්වලට. ඉතිං අපි දෙන්නා ගොඩක් දේවල් කතා කරනවා. කෙල්ලො ගැන, වාහන ගැන, ඉස්සරහට කරන්න ඉන්න දේවල් ගැන එහෙම. ඒ කතා ඇදිලා යනවා පැය ගාණක්. ඉතිං ඒ තරම් සැනසීමක් නැති තරම් ඒ කටුක ජීවිතයට. 

මං ආයෙත් ඈත අහස දිහා බලනව.අපි මේ තාප්ප වලට වටවෙලා. මෙතතින් එහා ලෝකය කොච්චර නිදහස් ඇතිද, මං කල්පනා කරනව. ලංකාව කියන රටට මොනව වෙලා ඇත්ද? අපිට කිසිම නිව්ස් ස්ටීම් එකක් එන්නෙ නැහැ. ඉදල හිටලා ගෙදරින් එන ලියුම මිසක්. ඒකත් දැන් මතක් කරද්දි හරිම රහ අත්දැකිමක්. ඇදට වාරු වෙලා ලියුමක පිටුවක් ලියලා ඉවර වෙද්දි ඒකෙන් බාගයක් බොද වෙලා, කදුලු වලටම. මාසෙකට විතර පස්සෙ එන ලියුම එනකං හැමෝම බලන් ඉන්නේ හරිම ආසාවෙන්. ඒත් අපි  කොච්චර දුක් වින්දත් ඒක කාටවත් කියන්නෙ නැතිව ඉන්න හරිම මහන්සියක් ගන්නවා. ඉතිං එහෙම ඉන්න මට හයිය දෙන තව ගොඩාරියක් ලොකු හේතුවක් තියෙනවා. ඒ මොකක් කියලද ඔයා හිතන්නෙ?


Thursday, March 14, 2019

කළු වෙළඹ | Black Beauty



තවත් වැහිබර හැන්දෑවක්! කාලෙකට පස්සෙ වැටෙන ධාරාණිපාත වැහි බිංදු වලින් පරිසරය කුල්මත් කරද්දි වහලෙට කඩාන වැටෙන වැස්සෙ සද්දෙන්  ඔෆිස් කාමරේ පිරිලා යද්දි මාත් සිව්මහල් ගොඩනැගිල්ලෙ ඉහලම මාලයෙ තිබුන මගේ ඔෆිස් එකෙන් එළියට ගිහින් කොරිඩෝවට වෙලා ඈත වැස්ස කඩාපාත් වෙන හැටි බලාන හිටියා. මං වැස්සට ආදරේ කරන්න අටෝරාසියක් හේතු තියෙනව. ඒත් ඒ අතරින් සමහරක් හරිම ප්‍රබලයි. නිස්කාන්සුවෙ වැස්සකට අහු උනාම මගේ මතකය ඉඩක් හම්බෙන හැම වෙලාවකම දුවන එක තැනක් තියෙනවා. ඒ සියඹලා ගහ. ඔව්, අර කීපදෙනෙක්ටවත් බදන්න බැරි ඒ සියඹලා ගහ. එතැන වෙච්ච සිදුවීම් පෙල සිනමා පටයක් වගේ මට මැවි මැවී පේනවා. ඔයාගෙ මතකයන්ගෙන් මං ආසම කරන මතකයන් දෙකෙන් එකක් තමයි ඒක. ඒ හීනි අතැගිලි හරි හරියට අල්ලගෙන ලෝකයක් දිනුවා වගේ සතුටු වෙච්ච වෙලාව. අනිත් එක? අවුරුදු ගානකට පස්සෙ හම්බුනාම, ඔයාගෙ පන්තිකාමරේදි දුවගෙන ඇවිත් මාව බදාගත්ත වෙලාව. හැමදේම අමතක කරලා හිත පුරෝගන්න ඒ හේතු දෙක හොදටෝම ඇති මට. ඔව්, මං වැස්සට ඒ තරම් කැමති ඒ වැහි පොද ඔයාව ආයෙ ආයෙමත් මං ලගට ගේන එකට. වැඩ රාජකාරි එක්ක වෙහෙසිලා ගෙවෙන හෙම්බත් ජීවිතේට "ටොකොස් ටොකොස් ගාලා පැනගෙන කළු වෙළඹක් එනව වගේ" මොහොතකට හිනාවක් දෙන එකට...

එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියනවා
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

මෙච්චර කාලයක් ගතවුනත් මට අපිට කරන්න බැරිවුන එකම එක දෙයක් ගැන මං තාම හිතනවා. ඒ වෙච්ච දේවල් ගැන ආයෙමත් සැරයක් කතා කරන්න. එහෙම වෙන්න හේතුවුන මානසික තත්වය ගැන කතාබහ කරන්න, ආවේගය ගැන කතා කරන්න. ඒක බලපාපු සීමාව ගැන හොයන්න. ඊටපස්සෙ ගිය පාරවල් ගැන කතාකරන්න. සම්මතය අසම්මතය ගැන පාපෝච්චාරණය කරන්න. සාර්ථකත්වය ගැන කතා කරන්න. ඔව්, උඹ දන්නවද? කොච්චරක් නම් දේවල් තියෙනවද අපිට කතා කරන්න. ඒක අපිට හිනාවක් ගෙන දෙන එකක් නෑ කියලා කාටද කියන්න පුලුවන්?  ම්.. අතීතකාමය අවුස්සන අතරේ ටේස්ට් එකට මං ගානෙ කඩල ගොට්ටක් දෙන්නද ?

දුක පිරුණු මගේ හිත නුඹ හොදට දන්නවා
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

හැමදෙයක්ම වෙන්නෙ හොදටලු. මං දන්නෙ නෑ ඇයි ඒක එහෙම කියන්නෙ කියලා. ඒත් මං එක දෙයක් දන්නවා. මේ  වෙනකං වෙච්ච හැම දේකින්ම තවත් අලුත් පැත්තක් මට පේන්න ගත්තා. එක දොරක් වැහෙද්දි තව දොරක් ඇරෙන්න ගත්තා. ඒත් අන්තිමට ඒ හැමදේම ලබාගෙන යද්දි ආයෙ ආයෙමත් මාව පරණ පාරටම වැටිලාද? හැබැයි ඉස්සරට වඩා ගොඩක් අත්දැකීම් එක්ක, තුවාල කැලැල් එක්ක. පරිණත ගතියකුත් එක්ක. මම දන්නෙ නෑ මේක මොන මොන විදියට ඉස්සරහට  යයිද කියලා. ඇත්තටම මට බයකුත් නැත්තෙ නෑ. ඒත්... එකම එක දෙයක් මං දන්නවා. ගතවෙච්ච හැම තත්පරයකම මං ඒ අමාවක සද වෙනුවෙන් බලාන හිටියා කියන එක. ඒක කවදාහරි පුරහදක් වෙලා ආයෙමත් පායාවි කියලා. 

අනාගත වාලුකා කතර මැද තනිවෙලා
කෙසේ පා ඔසවමිද සා පවස විද දරා
පුර පසෙක නොවී නුඹ අව පසෙක සඳ වුනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...


Sunday, March 10, 2019

අනූට පිළිතුරක්! | Answer for Anu



දැරුවත් යත්න
හදුනාදෙන්නට නුඹට
රිදෙන බව මට
වැරදි බව නුඹ
ඉනි මිටක් විය එය
ගගට කැපූ
ඒදා ‌‌මෙන් අදත්
සිදවූයේ 
ඒකම ‌දෙයකි
පිළිගත්තා පමණකි
අවසන
වැරදි බව නුඹ
නමුදු, ඒදත් අදත්
නොදැරුවත් යත්න
ගන්නට හරිමගට
කරන්නට කැපකිරීමක්
බැරිම තැන
තවත් වදවෙන්නේ කුමට
කැපකිරීමක් ‌නොමැති
අකුරකට පමණක් සීමා වූ
නුඹේ හිස්
ආදරයට...


Wednesday, February 6, 2019

පත්වීම | An Appointment


වෙලාව දවල් දෙකත් පහුවෙලා. කර්කෂ අව්ව මැද්දෙ චූටි රෝස පාට කුඩෙත් ඉහලගෙන ශානි වැව පාර දිගේ හනි හනිකට ඇවිදගෙන ඇවිත් ⁣සේන මාමාලගෙ කඩුල්ල පැන්නෙ රටක් රාජ්ජයක් දිනුවා වගේ හැගීමකින්. ඉක්මන්ටම කාමරේ දොර ඇරගෙන ඇතුලට ආපු කෙල්ල බෑග් එකත් විසි කරගෙනම ඇදට පැන්නේ හරිම මහන්සියෙන්. ඉස්කෝලෙට චූටි ටීචර් කෙනෙක් උනාට මොකද කෙල්ල තාමත් පොඩි එකෙක් වගේ. දාඩිය, දූවිලි පිරුණු සාරිය ඇදන්ම ඇදට පැන්න ශානිගෙ චූටි කකුල් කකියන්න පටන් ගත්තා හොදටෝම. හැමදාම කිලෝමීටරයක් විතර දුරක්  වාහන යන්නැති පාරේ පයින් යන එන එකත් ලේසි පාසු වැඩක් නෙමෙයි නේද, කෙල්ලට ඒකෙ බරපතලකම දැනුනෙත් වැඩට යන්න එන්න ගත්තම...

මේක ශානිගෙ අලුත්ම රස්සාව. රස්සාව කිව්වට ඒක ඊටත් වැඩි දෙයක්. එයා පොඩි කිලෙ ඉදලම හීන මැව්වා ගුරුවරියක් වෙන්න. චුට්ටිම චුට්ටි කාලෙ අම්මගෙ සාරියක් පටලෝගෙන කෝටු කෑල්ලක් අරන් මෙලෝ දෙයක් තේරෙන්නැති නංගියටයි, කිසිම දෙයක් අහන්නැති දඩබ්බර මල්ලියාටයි මොන මොනවාදෝ උගන්නන්න හදපු හැටි මතක් වෙලා ශානිගෙ මූණට ලැජ්ජාවකුත් ආවා, හීන් හිනාවකුත් එක්ක. ඒත් ඉගෙනගෙන ඉවරවෙලා තමන්ගෙ මුල්ම පත්වීම විදියට හේනානිගල ඉස්කෝලෙට එන දවසෙ දැනුන තරම් සතුටක් එයාගෙ ජීවිතේ කවදාවත් තියෙන්න නැතුව ඇති. ඇයි පත්වීම් ලිපිය ගෙදරට ලැබුන දවස. අම්මයි,තාත්තයි,මල්ලියි, නංගියි එක්ක සතුට සමරන්න පොඩි රයිස් පාටියක් දාන්නත් එයා අමතක කලේ නෑ. එදා දවස පුරාම අම්මගෙ මූණෙ තිබ්බ සතුටු කදුලු, ඒවා මතක් වෙද්දිත් මහන්සිය කොහේ ගියාද නෑ...

ඇදෙන් නැගිටපු ශානි පුටුවෙ වාඩි වෙලා ජනෙල් කූරු අතරින් ඈත වැව දිහා බලාන ඉන්න පටන් ගත්තා. සීතල හුලගට හෙලවෙන කුඹුක් ගහයි වැවයි ඇහැට ගෙනාවේ හිත පුරෝලා යන තරම් ලස්සනක්. ඒ ටිකට හිත ආයෙමත් දුර යන්න පටන් අරන්. මේ මුරණ්ඩු හිතට එක තැනක ඉන්නට බැරි හැටියක්. උදේ පාන්දර සාරිය ඇදලා සුවද ගගහා පොඩිවුන් ලගට යනකොටම චූටි කෙල්ලො ටික ආදරෙන් තමන්ව පිළිගන්න දුවගෙන එන හැටි. සාරි පොටෙන් එල්ලි එල්ලි තමන්ට දවස පුරාම ආදරෙන් වද දෙන හැටි. නාහෙට අහන්නැති දඩබ්බර කොලු ගැටව් තමන් උගන්නද්දි තේරුණා වගේ සද්ද නැතිව පන්තියෙ ඉන්න හැටි. මේවා මතක් කරද්දි කෙල්ලට හොදටෝම හිනා. කොහොමහරි මහන්සිවෙලා ඉගෙනගෙන පොඩි කාලෙ හීනෙ හැබෑකරගන්න ලැබුනා කියලා දැනෙද්දි නම් මොන තරම් දුකක් පාලුවක් දැනුනත් ඊට වඩා ලොකු සතුටකින් ශානිගෙ හිත පිරීලා ගියා...