Tuesday, March 26, 2019

නොස්ටලොජියාවක මතක | Memories of Nostalgia



මං වෙනදා වගේම ටෝච් එකයි  වෙපන් එකයි අතේ තියාගෙන පොයින්ට් එකට වෙලා පාර දිහා බලාන ඉන්නවා. දවස පුරාම දුවලා පැනලා මහන්සිවෙලා ඇගට හරිම අමාරුයි, නිදිමතයි, ඊටත් වඩා බඩගිනියි. ඒත් මොනවා කරන්නද? මං හැමදාමත් වගේ මේ වෙලාවට කරන්නේ වෙපන් එක පරිස්සම් වෙන විදියට, කාටවත් ගන්න බැරි විදියට අතේ තියාගෙන ටෝච් එකත් සාක්කුවට දාගෙන ඈත අහස දිහා බලාගෙන කල්පනා කරන එක. ඒක ටයිම් පාස් කරන්න මාරම කික් එකක් දෙනවා. ඒ වගේම ගතවෙන දවස්  ගැන පොඩි සෙල්ෆ් රිවීව් එකක් ගන්නත් මරු චාන්ස් එක. ඉතිං හැමතිස්සේම ඒ අතීතට මතක් කරද්දි ඒ මොමන්ට් එකට, ඒ මෙමරි එකට සෑහෙන ලොකු ඉඩක් වෙන්කරලා තියෙනවා මගෙ මතකය ඇතුලේ. ඇයිද කියලා මං දන්නෙ නෑ හරියටම. ඒත් ඒක හරිම නෙස්ටොලොජික් ඉමෝෂන් එකක්.

දීප්තිමත් ආලෝකයක් එක්ක පොයින්ට් එකේ පැත්තකින් මතු වෙච්ච කාර් එකක් කට්ට කලුවර කපාගෙන වේගයෙන් ඇතුලට යන්නේ අවට පරිසරයෙ තිබ්බ පාලු මූසල ගතිය කුඩු කරගෙන. ම්ම්... වෙලාව පාන්දර 1ට විතර ඇති. ඒත්, මට බෑ ඒක හරියටම කියන්න. මොකද මං ලග ඔරලෝසුවක් නෑ ඒත්... හැමදාම වගේ මේ වෙලාවට තමයි ඒ වාහනේ යන්නේ ඩියුටි පොයින්ට් එක පහුකරගෙන. එතනත් කරෙක්ෂන් කරන්න  වෙන තැනක් තියෙනව. හැමදාම කිව්වට දවසක් ඇර දවසක් වගේ තමයි මං දකින්නෙ.

"ඇදෙන් බහින්න එපා මාස තුනක් යනකං. ඊට පස්සෙත්  රෝද පුටුව යූස් කරන්න වෙයි" ඩොක්ටර්  කිව්වෙ නං එහෙම. ඒ මීට අවුරුදු 10 කට කලින්. කාලය ගතවෙච්ච වේගය. හෙට උදේ පාන්දර ඇහැරිලා වත්ත වටේ දුවන්නත් එපැයි වට 10ක් විතර. ඒ වේදනාව මතක් වෙද්දිත් පපුව හෝස් ගාලා යනව. ඒත්, මං හිත හදාගන්නෙ හරිම බොළද විදියට. හැබැයි ඒකත් සාර්ථකයි. පිටිපස්සෙන් පොලු අතේ තියන් පන්නද්දි, නිදිමතයි මහන්සියයි එක්ක සීතල සරදම් කරද්දි, මං ගුටි නොකා මරබියේ දුවනව  නෙමෙයි දිව වෙනවා. ඉතිං මං බයික් එකක් ගැන මනෝ පාරක් ගහන් අනිත් උන් අස්සෙන් ඉස්සරහට යනව. නෑ... යැවෙනව! පොයින්ට් එකේ මගෙ තනියට මගෙ ඇද බඩියත් ඉන්නව  ගොඩක් දවස්වලට. ඉතිං අපි දෙන්නා ගොඩක් දේවල් කතා කරනවා. කෙල්ලො ගැන, වාහන ගැන, ඉස්සරහට කරන්න ඉන්න දේවල් ගැන එහෙම. ඒ කතා ඇදිලා යනවා පැය ගාණක්. ඉතිං ඒ තරම් සැනසීමක් නැති තරම් ඒ කටුක ජීවිතයට. 

මං ආයෙත් ඈත අහස දිහා බලනව.අපි මේ තාප්ප වලට වටවෙලා. මෙතතින් එහා ලෝකය කොච්චර නිදහස් ඇතිද, මං කල්පනා කරනව. ලංකාව කියන රටට මොනව වෙලා ඇත්ද? අපිට කිසිම නිව්ස් ස්ටීම් එකක් එන්නෙ නැහැ. ඉදල හිටලා ගෙදරින් එන ලියුම මිසක්. ඒකත් දැන් මතක් කරද්දි හරිම රහ අත්දැකිමක්. ඇදට වාරු වෙලා ලියුමක පිටුවක් ලියලා ඉවර වෙද්දි ඒකෙන් බාගයක් බොද වෙලා, කදුලු වලටම. මාසෙකට විතර පස්සෙ එන ලියුම එනකං හැමෝම බලන් ඉන්නේ හරිම ආසාවෙන්. ඒත් අපි  කොච්චර දුක් වින්දත් ඒක කාටවත් කියන්නෙ නැතිව ඉන්න හරිම මහන්සියක් ගන්නවා. ඉතිං එහෙම ඉන්න මට හයිය දෙන තව ගොඩාරියක් ලොකු හේතුවක් තියෙනවා. ඒ මොකක් කියලද ඔයා හිතන්නෙ?


Thursday, March 14, 2019

කළු වෙළඹ | Black Beauty



තවත් වැහිබර හැන්දෑවක්! කාලෙකට පස්සෙ වැටෙන ධාරාණිපාත වැහි බිංදු වලින් පරිසරය කුල්මත් කරද්දි වහලෙට කඩාන වැටෙන වැස්සෙ සද්දෙන්  ඔෆිස් කාමරේ පිරිලා යද්දි මාත් සිව්මහල් ගොඩනැගිල්ලෙ ඉහලම මාලයෙ තිබුන මගේ ඔෆිස් එකෙන් එළියට ගිහින් කොරිඩෝවට වෙලා ඈත වැස්ස කඩාපාත් වෙන හැටි බලාන හිටියා. මං වැස්සට ආදරේ කරන්න අටෝරාසියක් හේතු තියෙනව. ඒත් ඒ අතරින් සමහරක් හරිම ප්‍රබලයි. නිස්කාන්සුවෙ වැස්සකට අහු උනාම මගේ මතකය ඉඩක් හම්බෙන හැම වෙලාවකම දුවන එක තැනක් තියෙනවා. ඒ සියඹලා ගහ. ඔව්, අර කීපදෙනෙක්ටවත් බදන්න බැරි ඒ සියඹලා ගහ. එතැන වෙච්ච සිදුවීම් පෙල සිනමා පටයක් වගේ මට මැවි මැවී පේනවා. ඔයාගෙ මතකයන්ගෙන් මං ආසම කරන මතකයන් දෙකෙන් එකක් තමයි ඒක. ඒ හීනි අතැගිලි හරි හරියට අල්ලගෙන ලෝකයක් දිනුවා වගේ සතුටු වෙච්ච වෙලාව. අනිත් එක? අවුරුදු ගානකට පස්සෙ හම්බුනාම, ඔයාගෙ පන්තිකාමරේදි දුවගෙන ඇවිත් මාව බදාගත්ත වෙලාව. හැමදේම අමතක කරලා හිත පුරෝගන්න ඒ හේතු දෙක හොදටෝම ඇති මට. ඔව්, මං වැස්සට ඒ තරම් කැමති ඒ වැහි පොද ඔයාව ආයෙ ආයෙමත් මං ලගට ගේන එකට. වැඩ රාජකාරි එක්ක වෙහෙසිලා ගෙවෙන හෙම්බත් ජීවිතේට "ටොකොස් ටොකොස් ගාලා පැනගෙන කළු වෙළඹක් එනව වගේ" මොහොතකට හිනාවක් දෙන එකට...

එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියනවා
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

මෙච්චර කාලයක් ගතවුනත් මට අපිට කරන්න බැරිවුන එකම එක දෙයක් ගැන මං තාම හිතනවා. ඒ වෙච්ච දේවල් ගැන ආයෙමත් සැරයක් කතා කරන්න. එහෙම වෙන්න හේතුවුන මානසික තත්වය ගැන කතාබහ කරන්න, ආවේගය ගැන කතා කරන්න. ඒක බලපාපු සීමාව ගැන හොයන්න. ඊටපස්සෙ ගිය පාරවල් ගැන කතාකරන්න. සම්මතය අසම්මතය ගැන පාපෝච්චාරණය කරන්න. සාර්ථකත්වය ගැන කතා කරන්න. ඔව්, උඹ දන්නවද? කොච්චරක් නම් දේවල් තියෙනවද අපිට කතා කරන්න. ඒක අපිට හිනාවක් ගෙන දෙන එකක් නෑ කියලා කාටද කියන්න පුලුවන්?  ම්.. අතීතකාමය අවුස්සන අතරේ ටේස්ට් එකට මං ගානෙ කඩල ගොට්ටක් දෙන්නද ?

දුක පිරුණු මගේ හිත නුඹ හොදට දන්නවා
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

හැමදෙයක්ම වෙන්නෙ හොදටලු. මං දන්නෙ නෑ ඇයි ඒක එහෙම කියන්නෙ කියලා. ඒත් මං එක දෙයක් දන්නවා. මේ  වෙනකං වෙච්ච හැම දේකින්ම තවත් අලුත් පැත්තක් මට පේන්න ගත්තා. එක දොරක් වැහෙද්දි තව දොරක් ඇරෙන්න ගත්තා. ඒත් අන්තිමට ඒ හැමදේම ලබාගෙන යද්දි ආයෙ ආයෙමත් මාව පරණ පාරටම වැටිලාද? හැබැයි ඉස්සරට වඩා ගොඩක් අත්දැකීම් එක්ක, තුවාල කැලැල් එක්ක. පරිණත ගතියකුත් එක්ක. මම දන්නෙ නෑ මේක මොන මොන විදියට ඉස්සරහට  යයිද කියලා. ඇත්තටම මට බයකුත් නැත්තෙ නෑ. ඒත්... එකම එක දෙයක් මං දන්නවා. ගතවෙච්ච හැම තත්පරයකම මං ඒ අමාවක සද වෙනුවෙන් බලාන හිටියා කියන එක. ඒක කවදාහරි පුරහදක් වෙලා ආයෙමත් පායාවි කියලා. 

අනාගත වාලුකා කතර මැද තනිවෙලා
කෙසේ පා ඔසවමිද සා පවස විද දරා
පුර පසෙක නොවී නුඹ අව පසෙක සඳ වුනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...


Sunday, March 10, 2019

අනූට පිළිතුරක්! | Answer for Anu



දැරුවත් යත්න
හදුනාදෙන්නට නුඹට
රිදෙන බව මට
වැරදි බව නුඹ
ඉනි මිටක් විය එය
ගගට කැපූ
ඒදා ‌‌මෙන් අදත්
සිදවූයේ 
ඒකම ‌දෙයකි
පිළිගත්තා පමණකි
අවසන
වැරදි බව නුඹ
නමුදු, ඒදත් අදත්
නොදැරුවත් යත්න
ගන්නට හරිමගට
කරන්නට කැපකිරීමක්
බැරිම තැන
තවත් වදවෙන්නේ කුමට
කැපකිරීමක් ‌නොමැති
අකුරකට පමණක් සීමා වූ
නුඹේ හිස්
ආදරයට...