Saturday, September 2, 2023

මං නළුවෙක්!

කට් කට් කට්!!!

ඩිරෙක්ටර්ගේ කෑ ගැහිල්ලත් එක්කම මීයට පිම්බාක් මෙන් නිහඩව තිබූ වටපිටාව එකම කලබගෑනියක් බවට පත්වුනා. දිගු හුස්මක් පපුව පිරෙන්න ඉහලට ඇද්ද මං ඒ සුසුම් පහලට හෙලුවේ උදේ ඉදන්ම එක දිගට කරපු ෂූටිං වල මහන්සිය ගතින් ඉවතට මුදාහරිමින්. 

“සර් සර්.. මේක බොන්න”

තරුණ කොලු ගැටයෙක් උස්සන් ආපු ෆ්රෙෂ් මික්ස් ජූස් එක තොලගාන ගමන් මං චේන්ජිං රූම් එක පැත්තට ඇදෙන්න ගත්තා. මට ඕන උනා ටිකක් තනියම ඉන්න. මේ කලබලකාරී පරිසරයෙන් බේරිලා දුවන්න…

මං චේන්ජින් රූම් එකේ සුවපහසු සෝෆා එකේ ඇලවෙලා ජනේලෙ අස්සෙන් එළිය බැලුවා. ඈතින් මට පෙනුනා නවක නිළි නතාෂා වැඩකටයුතු අහවර කරලා ගෙදර යන්න ලෑස්ති වෙනවා. ඈව එක්කන් යන්න ඇගේ ඩැඩී ඇවිත් හිටියා. ස්ටාෆ් එකට සමුදුන් ඈ කිරිල්ලියක සේ තම “ඩැඩීගේ” වාහනයට ගොඩවෙලා සැනෙකින් අතුරුදහං උනා.

මං ලොකු හුස්මක් පිට කරලා සිගරට්ටුවක් පත්තු කලා. ඉහලට ඇද්ද නිකොටින් දුමාරය පපු කුහරය අස්සෙන් පෙනහලු වලට කා වැදුනේ හදවත පාරමින්. මගේ මතකය අවුරුදු බර ගණනක අතීතයට විසිවෙලා ගියා.

“මට නළුවෙක් වෙන්න ඕනෙ!”

මං කිව්වෙ එච්චරයි…

“තොට ඔල්මාදෙද? විභාගෙ පාස්වෙලා ආණ්ඩුවෙ රස්සාවක් හොයාගනිං.දුක් විදලා උඹට කන්ඩ බොන්ඩ දුන්නෙ උඹේ ඔය විකාර බලන්ඩද?”

අම්මා කෑ ගහනව ඉවරයක් නෑ.

යංතං ඒ ලෙවල් කරපු කාලේ ඉදං මට තිබ්බෙ නළුවෙක් වෙන පිස්සුව! ඉස්කෝලේ නාට්‍ය කණ්ඩායමක් නැති උනත් මම ගමේ පන්සලේ, සිදාදියේ තිබුන එක ටීටර් එකක්වත් මිස් වෙන්ඩ ඉඩ දුන්නෙ නෑ. තාත්තගෙ කමිස සාක්කුවට අත දාලා සල්ලි කොල දෙකක් අරන් ගාමිණි සර්ගේ චිත්‍රපටියක් බලන්න ගිය එක මාට්ටු වෙලා තමයි අම්මා මට දෙහි කපන්න පටන්ගත්තේ.

ඒත් වෙනදාට කොහු පොල්ල අරං මට තඩිබාන අප්පච්චි අද මං දිහා හැරිලා බැලුවෙවත් නැතිව ඈත අහස දිහා බලාන උන්නා. ගුටිකන්න සරීර සුදානමෙන් හිටපු මට අප්පච්චිගෙ හැසිරීම හරිම උභතෝකෝටියක් උනා. අම්මාටත් ඒක එහෙමම බව කියන්න වෙනම අටුවා ටීකා ටිප්පනි උවමනා උනේ නෑ.

එදා රෑ හරිම දිගු රාත්‍රියක් උනා. හේන් ගොවිතැන් කරලා අලි, ඌරෝ එක්ක හරි හරියට ඔට්ටු වෙලා හේන් රැකලා ගන්න සොච්චම් කාසි කොල මං හොරකම් කරපු එක ගැන මටම ඇතිවුනේ ලොකු වේදනාවක්! ලොකු ලැජ්ජාවක්! අවුරුදු ගානකින් හේන පැත්ත පලාතෙක ගිය නැති මං හෙට ඉදන්වත් කැත්ත උදැල්ල අතට ගන්නව කියලා කල්පනා කලා.

පහුවදා උදේ මං ඇහැරුනේ අප්පච්චිගේ ගොරහැඩි කටහඩට.

“පුතේ.. පුතේ..” 

කවදාවත් නැතිව අප්පච්චි මගේ ඉහ ඉද්දර හිටගෙන හිටියා. අප්පච්චිගෙ කරගැට පිරුණු අත්වල ඔප්පු කොලයක් ගුරු පාටට දිලිහුණා.

“ලෑස්ති වෙයන් මයෙ පුතේ කොළඹ යන්ඩ”

අප්පච්චි කිව්වෙ එච්චරයි!!!

Saturday, June 10, 2023

ස්පර්ශ | The Reveal of the Truth




මං ඇගෙන් බලාපොරොත්තු උනේ සියුම් සංතර්පණයක් විතරයි. විතරමයි!!! දිගු හුස්මක් වා තලයට මුසු කරමින් අඩක් දැවීගිය සිගරට්ටුව අලු බදුන මත හොවා මං පෑන අතට ගත්තා.

මට උවමනා කලා ඇගේ නියුවත් පයෝධරයන් මගේ පපුතුර හොවාගෙන ඈව සනහන්න. ඇගේ හිස අතගාන්න. ඇගේ ජීවිතේ කඩතොලු මතින් මගේ ආදරයේ පොටි තවරන්න.... ඈව සුවපත් කරන්න.

මගේ සුදුවන් පැහැති ඔපිස් කමිසයකින් උඩුකයද මගෙම කලිසම් කෑල්ලකින් යටිකයද  වසාගත් ඈ මා පපුතුර ඇලවුනේ මුවැත්තියක් විලසින්. බොත්තම් නොදැමූ කමිසයෙන් මතුව පෙනෙන රෝස පැහැති තනපට ඇගේ නිදහස, මා කෙරේ ඈතුල වූ විශ්වාසය මට තර කලා...

වර්ෂ දෙදහස් ගණනක් වූ  දුරුතු මස 27 වන සිකුරාදා
ස්ථානය- සැවෝයි සිනමා ශාලාව, බම්බලපිටිය

මං සැවෝයි සිනමා ශාලාවෙන් එලියට ආවෙ ඇත්තටම ගොඩාක් ලොකු සතුටකින්. මාස ගාණකට පස්සෙ හිතට සහනයක් දැනුන පැය කිහිපයක ඇවෑමෙන් ඔෆිස් එකේ කොල්ලො ටිකත් එක්ක චිත්‍රපටියක් බලලා පොඩි ආතල් එකක් අරගෙන ගෙදර යන්න හිතාගෙන. ඒ්ත් එක්කම දුරකතනයට ආපු නොටිෆිකේෂන් එකක් මගේ ජීවිතේ මෙච්චර කාලකණ්නි කරයි කියලා මං කවදාවත් හිතුවෙ නෑ.

-අයියෙ, ඔයාට ගෑණු ලමයෙක් ඉන්නවද?
+ඇයි එහෙම අහන්නෙ?
-මං දන්නව ඒ වේදනාව. ආදරේ කරන කෙනා වෙන කෙනෙක් එක්ක මැසේජ් කරනව කියල දැනගත්තම ඇතිවෙන වේදනාව.
+මං දන්නව නංගි. මං විදලා තියෙනව! මට එහෙම කෙනෙක් නෑ. මට ඔන ඔයා ලගින් ඉන්න. ඔයාට අමාරු වෙලාවෙ....
-හ්ම්. මගෙ නම්බර් ඒක 075....

වර්ෂ දෙදහස් ගණනක් වූ  දුරුතු මස 28 වන සෙනසුරාදා
ස්ථානය- බස් නැවතුම්පල අසල, ප්‍රසිද්ධ අගනගරයක්

මං එන්න ටිකක් පරක්කු උනා, විනාඩි 5ක් විතර. මං බයික් එක නවත්තලා එයාව අදුරගන්න ට්‍රයි කලා. නිල් පැහැ සුදු පැල්ලම් සහිත උඩු ඇදුමකින්ද, කලු පැහැති කලිසමකින්ද සැරසී සිටි යුවතියක් මා දෙස බලා මදහස පෑවා. ඇගේ මූණ ජම්බු ගෙඩියක් වගේ රතුවෙලා තිබුනෙ. මං ඒ්කට ආසා කලා... ගොඩාක් ආස කලා...

-දන්නවද? ඔයා මාව තේරුම් ගන්නව. මාව අහන් ඉන්නව
+ම්..
-මට ආදරේ දැනෙනවා
+හැමෝම එහෙම නැද්ද ඉතිං
-අනේ මන්ද. මට ඔනෙ ඔයාව විතරයි. වෙන කිසිම කෙනෙක් මට ඔන නෑ. අනික...
+මොකක්ද?
-ඔයා මාව කිස් කරනකොට මාව ඇවිස්සෙනවා!
+නලලට කිස් ඒකක් දුන්නත්?
-ඔව්, මැජික් කිස් ඒකක් ඒ්ක නම්!!!

ස්පර්ශ | The Reveal of the Truth - ලගදීම | Will be Published Soon

Monday, January 31, 2022

එකම එක හදවතක්! | A heart only for you



මං ඈට දුන්නෙ රෝස මලක්වත්, චොකලට් එකක්වත් නෙමෙයි. පෑනක්!
ඒත් ඈ ඒකට ගොඩක් ආස උනා. 
ඈ ආසාවෙන් ඒක අරගෙන අතේ මොන මොනවාදෝ කුරුටු ගෑවා.

"තුඩ හීනි පෑනක්! මං හරි ආසයි ඒවට. 'සැහැල්ලුවෙන්' ලියන්න පුලුවන්."

ඈ කීවෙ එහෙම. මම එයා දිහා බලාගෙන හිනාවුනා. යන්තමට වගේ.
එයාත් මගෙ ඇස් දිහා බැලුවා. 

ඔය ඉතිං...!
-ටෙලිපතිද? 

මං ඇහුවෙ මේ තරම් ඉක්මන්ට හිත් කියවන්න ඈට මා තරම්වත් මට ඈ තරම්වත් වෙන කවුරුවත් කවදාවත් නොසිටි බවත්, කවදාවත් නොසිටින බවත් හොදටෝම දැනගෙන...

*********************************

කිලෝමීටර් සියගණනක් යතුරුපැදිය එක හුස්මට පැදගෙන ආපු මම වේගය හොදටෝම අඩුකරලා පාර අයිනෙ ‌හෙවනක නැවැත්තුවෙ පැය ගාණක මහන්සිය නිවන්න හිතාගෙන. කකුල් දෙකයි පස්සයි හොදටම රිදෙන හින්දා බයික් එකෙන් බැහැලා මං කකුලට පොඩි එක්සයිස් එකක් දෙන්න පටන්ගත්තා.
ඒත් එක්කම කෝල් එකක්! හිතපු නැති වෙලාවක හිතපු නැති කෙනෙක්ගෙන්.

අයියේ!
-ම්...
මොකද කරන්නෙ? 
-පාරෙ ඉන්නෙ මං
පාරට වෙලා මොකද කරන්නෙ
-මතක අහුලනවා
ඇයි පාරේ? මතක අහුලන්න යන්න අපේ ලිෆ්ට් එක ලගට, ස්ටෙයාක‌ේස් එකට... 
ඈ කිව්වෙ හරිම රොමෑන්තික විදියට.

-මට ඔනෙ මතක හදන්න. මං උත්තර දුන්නා.
ඒ කොහොමද?

එක පාරටම ඈ වීඩියෝ කෝල් එකක් ගත්තා. 
කොහෙද යන්නෙ?
-දිග... ගමනක්! කිලෝමීටර් සියගාණක් ඈතට.
මට කියන්න බැරි ගමනක්ද? ඒක අහපු විදියට මගෙ පපුව පිච්චිලා ගියා.
මං තත්පර කීපයක් ගොලු උනා.

-මං කියන්නෙ නෑ ඔයාට. ඒත් දැනෙන්න දෙන්නම්.
ඒ කොහොමද?

මං හිනාවුනා විතරයි. මං හිනාවුනා...

                                                      *********************************

මං හෙල්මට් එක ගැලෙව්වා. ඈ මං දිහා කට ඇරගෙන බලාන හිටියා. 
ඒක අපේ ඇගිලි තුඩු පලමුවරට වැදුනම ආපු කරන්ට් එක වගේ තිස් තුන්දාස් ගුණයට වැඩි මිසක් අඩු නොවන විත්තිය විතරයි මං දැනං හිටියෙ. ඒ තරමට ඒ කෙල්ල ‌ශොක් වෙලා හිටියෙ.

"පිස්සුද?" මූණට ආපු ‌එළිය හං‌ගගෙන නපුරු මූණක් බලෙන් හදාගෙන ඈ කිව්වා.
-ඔයා දන්නවනෙ!
"හොදටම පිස්සු!"
මෙච්චර වෙලාවක් තදකරන් හිටපු නපුරු මූණ කඩාගෙන සන්තෝසයයි, ලැජ්ජාවයි මික්ස් වෙච්ච ලස්සනම මූණක් මං ඒ වෙලාවෙ දැක්කා. තාමත් මට ඒක මැවිලා පේන තරමට ඒක මගෙ මතකයට වැදුනා.