Thursday, November 16, 2023

කුණු ලේ | Echoes of Regret



වෙනදා වගේම 138 බස් එක චැතැම් ස්ට්‍රීට් එක ලග වංගු දෙක "චරා..ස්" ගාලා බොඩිය අතුල්ලගෙන ගත්තා. ‍‍‌‌ටෙලිකොම් හෝල්ට් එක පහුකරද්දිම පුරුද්දට වගේ සෙනග මැද්දෙන් මං ඉස්සරහට ගියෙ ඊලග කෝච්චිය අල්ලගන්න කොට කොටා ගියත් තවත් වෙලාව තියෙන බව සහසුද්දෙන්ම දැනගෙනමයි. දොර දෙකේ ලේලන්ඩ් බස් එකේ ඉස්සරහ දොර ලගට ඇවිත් ෆුට් බෝඩ් එකට අඩිය තියන්න හදනකොටම මං ඇහුනෙ කටහඩක්!

"ඉස්සරහින් බහිනවද?"

"ඔව්"

"මේක පොඩ්ඩක් අල්ලගන්නවද?"

වම් පැත්තෙ ඉස්සරහම සීට් එකේ ජනේලෙ ලග වාඩිවෙලා හිටපු වයසක සීයා කෙනෙක් මට පිළිතුරක් දෙන්න ඉඩ නොතියාම මගේ අතට ක්ලචස් දෙකක් දුන්නා.

‌ඉස්සර කඩාගෙන බිදගෙන, මිනිස්සු හප්පගෙන, බස්කාරයොත් එක්ක බැනගෙන ගියපු මං මේ මොන අටමංගල්ලෙකට නැවතුනාද කියල මටම හිතාගන්න බැරිඋනා. ඒ් විලම්බීත ඔලුවෙ කැරකෙන්න ඉඩක් නොතියම බස් එක කොටුව ඉස්ටේසන් එක ලගට ලංවුනා. 

"නැගිටින්න පුලුවන්ද?"

අමාරුවෙන් ජනේලෙ අල්ලන් නැගිටින්න ට්‍රයි කරන ඒ් මනුස්සයගෙන් මං ඇහුවෙ  අත දික්කරන ගමන්.

"පුලුවන්..." හිතේ හයියට වාරු අරන් තනි කකුලෙන් ඒ් මනුස්සය බහින ටිකට මං ක්ලචස් දෙකත් අරන් බිමට බැහැලා බලන් හිටියා. පහුකරන් බැස්ස ගෑණු ලමයි දෙන්නෙකුට පස්සෙන් ඒ් මනුස්සයා ගෙන්දගම් පොලොවට ආයෙත් දෙපය.. නෑ.. පය තිබ්බා. ක්ලචස් දෙක දුන්න මං නැවත වැඩ ඇරිලා දුවන "රේස් එකට" එකතු උනා.

ඒ් ගැන හිත හිතා මං මහවෙ ජනේලෙකින්  දෙමටගොඩ සිහිල් සුලං රැලි විදින්න පටන්ගත්තා. ඒ්ත් එක්කම කොටුව දෙසට පිඹගෙන ආපු සීග්‍රගාමී දුම්රියක් මගේ මතකය ආයෙත් ආපු වේගයෙන්ම ආපහු මරදානට විසික්කරා...

ඒ්ක රෝසපාට S11 සෙට් එකක්. වෙලාව දහවල් 1ට විතර ඇති. මං හොදටෝම පරක්කුවෙලා වැඩට යනව. මං මදිවට කෝච්චියත් පරක්කුයි. හෑන්ඩ් ෆ්‍රී ඒකත් කනේ ඔබාගෙන කරවෙච්ච අව්වෙ කැරකැවෙන්නැති ෆෑන් තට්ටක් යටට වෙලා චිල් එකේ ‌ඈත පේන වෙල් යායෙ ඉදන් ඇස් ඇතුලට ගන්නකොටම... මට දැනුනා මොකක්දෝ අමුත්තක්! එක්කෝ ඒක මගේ මනෝ විකාරයක්, නැත්තං ඇස්වල දෝසයක්... එහෙමත් නැත්තං... කුණුහරුප ඇත්තක්!!! ඒ් නන්නාදුනන මහත ගෑණු ලමයගෙ ඇස්වලින් කදුලු සට සට ගාලා වැක්කෙරෙනවා. තොල්පට හපාගෙන අඩන මූණ හංගන්න හරිම අසාර්ථක උත්සාහයක යෙදෙනව.

මගෙ කනේ එක ඇබයක් අතට ආවෙ මට නොදැනිමයි. "ආර් යූ ඔකේ?" මගෙ හිතට ඒ්ක අහන්න ඔනවුනා. ඒත් කාගෙ හෝ කරුමයකට, ඒ් වචන අතර පරතරයට මීටර් ගණනාවක බාධකයක් තිබුනා. නමුත් ඒ්ක හරිම ස්පෙසිෆික් "අවුල් සහගත හැගීමක්" කියලා විතරක් මගේ රෝම කූප වලට තදින්ම දැනුනා. "අනුන්ගෙ ප්‍රශ්න අපිට මොකටද? ඔවා අහන්න ගිහින් නිකං බැනුම් අහගන්න වෙන්නෙ. කොටුවෙන්ම බැස්සොත් අහනව.. " මං පරාජය බාර අරන් එහෙම හිතුවා. ඒ්ත් නොහිතපු විදියට මරදානෙන් ඒ් ලමයා කලබලයෙන් බැහැලා යන්න ගියා. මාත් පුරුදු විදියටම වැඩට ගියා.

ඒ්ත් පස්සෙ මට හිතෙන්න ගත්තා, මං මොන අලගෙඩියක් වෙන්න හරි කියලා "ඔයා හොදින්ද?" කියලා විතරක්වත් ඇහුවනං... බාගදා මරදාන පොලොව ‌කුණු ලේ පැල්ලම් වෙනුවට කදුලු වලින් විතරක් තෙමෙන්න ඉඩ තිබුනා කියලා...

6 comments:

  1. සිය දිවි නසා ගන්න එක්කෙනෙක්ට ඒ තනිවන මොහොත...හිතා ගන්න බෑ....තත්පර කීපයක් ....වචන එන්නේ නෑ. - Mayya

    ReplyDelete
  2. මහත ගෑනු ළමයගේ මාසේ මාරු වෙන දවසද?

    ReplyDelete
  3. පපුවට පිහියෙන් ඇන්නා වගේ වචන...

    ReplyDelete