Saturday, September 2, 2023

මං නළුවෙක්!

කට් කට් කට්!!!

ඩිරෙක්ටර්ගේ කෑ ගැහිල්ලත් එක්කම මීයට පිම්බාක් මෙන් නිහඩව තිබූ වටපිටාව එකම කලබගෑනියක් බවට පත්වුනා. දිගු හුස්මක් පපුව පිරෙන්න ඉහලට ඇද්ද මං ඒ සුසුම් පහලට හෙලුවේ උදේ ඉදන්ම එක දිගට කරපු ෂූටිං වල මහන්සිය ගතින් ඉවතට මුදාහරිමින්. 

“සර් සර්.. මේක බොන්න”

තරුණ කොලු ගැටයෙක් උස්සන් ආපු ෆ්රෙෂ් මික්ස් ජූස් එක තොලගාන ගමන් මං චේන්ජිං රූම් එක පැත්තට ඇදෙන්න ගත්තා. මට ඕන උනා ටිකක් තනියම ඉන්න. මේ කලබලකාරී පරිසරයෙන් බේරිලා දුවන්න…

මං චේන්ජින් රූම් එකේ සුවපහසු සෝෆා එකේ ඇලවෙලා ජනේලෙ අස්සෙන් එළිය බැලුවා. ඈතින් මට පෙනුනා නවක නිළි නතාෂා වැඩකටයුතු අහවර කරලා ගෙදර යන්න ලෑස්ති වෙනවා. ඈව එක්කන් යන්න ඇගේ ඩැඩී ඇවිත් හිටියා. ස්ටාෆ් එකට සමුදුන් ඈ කිරිල්ලියක සේ තම “ඩැඩීගේ” වාහනයට ගොඩවෙලා සැනෙකින් අතුරුදහං උනා.

මං ලොකු හුස්මක් පිට කරලා සිගරට්ටුවක් පත්තු කලා. ඉහලට ඇද්ද නිකොටින් දුමාරය පපු කුහරය අස්සෙන් පෙනහලු වලට කා වැදුනේ හදවත පාරමින්. මගේ මතකය අවුරුදු බර ගණනක අතීතයට විසිවෙලා ගියා.

“මට නළුවෙක් වෙන්න ඕනෙ!”

මං කිව්වෙ එච්චරයි…

“තොට ඔල්මාදෙද? විභාගෙ පාස්වෙලා ආණ්ඩුවෙ රස්සාවක් හොයාගනිං.දුක් විදලා උඹට කන්ඩ බොන්ඩ දුන්නෙ උඹේ ඔය විකාර බලන්ඩද?”

අම්මා කෑ ගහනව ඉවරයක් නෑ.

යංතං ඒ ලෙවල් කරපු කාලේ ඉදං මට තිබ්බෙ නළුවෙක් වෙන පිස්සුව! ඉස්කෝලේ නාට්‍ය කණ්ඩායමක් නැති උනත් මම ගමේ පන්සලේ, සිදාදියේ තිබුන එක ටීටර් එකක්වත් මිස් වෙන්ඩ ඉඩ දුන්නෙ නෑ. තාත්තගෙ කමිස සාක්කුවට අත දාලා සල්ලි කොල දෙකක් අරන් ගාමිණි සර්ගේ චිත්‍රපටියක් බලන්න ගිය එක මාට්ටු වෙලා තමයි අම්මා මට දෙහි කපන්න පටන්ගත්තේ.

ඒත් වෙනදාට කොහු පොල්ල අරං මට තඩිබාන අප්පච්චි අද මං දිහා හැරිලා බැලුවෙවත් නැතිව ඈත අහස දිහා බලාන උන්නා. ගුටිකන්න සරීර සුදානමෙන් හිටපු මට අප්පච්චිගෙ හැසිරීම හරිම උභතෝකෝටියක් උනා. අම්මාටත් ඒක එහෙමම බව කියන්න වෙනම අටුවා ටීකා ටිප්පනි උවමනා උනේ නෑ.

එදා රෑ හරිම දිගු රාත්‍රියක් උනා. හේන් ගොවිතැන් කරලා අලි, ඌරෝ එක්ක හරි හරියට ඔට්ටු වෙලා හේන් රැකලා ගන්න සොච්චම් කාසි කොල මං හොරකම් කරපු එක ගැන මටම ඇතිවුනේ ලොකු වේදනාවක්! ලොකු ලැජ්ජාවක්! අවුරුදු ගානකින් හේන පැත්ත පලාතෙක ගිය නැති මං හෙට ඉදන්වත් කැත්ත උදැල්ල අතට ගන්නව කියලා කල්පනා කලා.

පහුවදා උදේ මං ඇහැරුනේ අප්පච්චිගේ ගොරහැඩි කටහඩට.

“පුතේ.. පුතේ..” 

කවදාවත් නැතිව අප්පච්චි මගේ ඉහ ඉද්දර හිටගෙන හිටියා. අප්පච්චිගෙ කරගැට පිරුණු අත්වල ඔප්පු කොලයක් ගුරු පාටට දිලිහුණා.

“ලෑස්ති වෙයන් මයෙ පුතේ කොළඹ යන්ඩ”

අප්පච්චි කිව්වෙ එච්චරයි!!!