Sunday, August 26, 2018

මේ නිශාන්තයේ... | Moment of a Nightmare



වෙලාව හැන්දෑවේ 7ත් පහුවෙලා. වෙනදා වගේම මං එයා එනකං බලාන ඉන්නවා. නෑ.. එයා එනකං මං තවත් බලාන ඉන්නෙ නෑ. ඒ කියන්නෙ තරහකටවත් වෙන මොකක් නිසාවත් නෙමෙයි. එයා දැන් කොහෙ ඉදීවිද, මොනව කරනවද, පරිස්සමින් ද කියලා හොයලා බලලම එයාට ඒක ඇති වෙලා. බාගදා එයාට ඒක කරදරයකුත් වෙන්න ඇති. අඩුගානෙ මං දැන් එන ගමන් ඉන්නෙ, බය නොවී ඉන්න කියලා චූටිම චූටි ටෙක්ස්ට් මැසේජ් එකක්වත් දාන්න එයාට ගානක් නැතිවෙනකොට මං මොනව කියලා කරන්නද... මට තියෙන එකම විශ්වාසය කොයිම වෙලාවක හරි මොන අපායක ඉදන් හරි එයා ඒවි කියන එක. අඩුගානෙ එතකොටවත් මට සැනසිල්ලෙ නිදාගන්න පුලුවන්, විකල්ප වලට යන්නෙ නැතිව.
සදුද අවදියෙන්
තරුද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ළග නැති තව

දිනක් ගෙවී යයි
තනිවුන වසන්තයේ...

😓

දන්නවද දෙයක්, බදින්න ඉස්සර මං හිතාන හිටියෙ මං රෝමියෝ කියලා. කීපදෙනෙක් එහෙම නොකිව්වත් නෙමෙයි ඒ කාලෙ නං. මං දැනගෙන හිටපු එකම දේ නොසෑහෙන්න ආදරේ කරන්න, පරිස්සම් කරන්න, ආදරෙන් බලාගන්න, හොදට සලකන්න... බැදපු මුල් දවස්වල මං හැමතිස්සෙම එයා ගැන හොයලා බැලුවා. චුට්ටක් හරි පරක්කු වුනොත් කරදරයක්වත්ද කියලා හිත කලබල වුනා. එයත් මොන දේ කලත් මට කිව්වා, අඩුගානෙ යාලුවෙක්ගෙන් හරි ෆෝන් එකක් ඉල්ලගෙන. ඉතිං මං මාරම සතුටකින් හිටියෙ. මං හිතුවෙ මට මගෙ ජීවිතේම එයා වුනා වගේම එයාටත් එහෙම ඇති කියලා. මට දැනුනා එහෙම, ඒක මායාවක්ද කියලා දන්නෙ නම් නෑ. ඒත් ඒක එහෙමයි.

පස්සෙ පස්සෙ මං ඒක තේරුම් ගත්තා. නිකං බොරුවට කෑ ගහලා වැඩක් නැති විත්තිය. ඇගෙන් මොකුත්ම බලාපොරොත්තු නොවී ඇගෙ හිත පිරෙන්නම සෙනෙහස පුරවන්න ඔන විත්තිය. ඇය පිරෙන මොහොතක් ගානේ මාත් පිරෙන විත්තිය. ඉතිං මං ඈට නිදහස දුන්නා. ඒක අසීමිත නිදහසක්. එයා සතුටින් ඉගිලිලා ගියා කූඩුවෙන්.. ඇත්ත, ඈව පරිස්සම් කරන්න ඔන බව ඇත්ත. ඒත්, එහෙමයි කියලා ඒ මූණ දුකින් ඉන්නවට මං පොඩ්ඩක්වත් කැමති නෑ. වෙන දෙයක් වේවි. මං පට්ටම සතුටකින් ඉදීවි කියන්නත් අමාරුයි. ඒත්, ඈ සතුටින් නම් තව මොනවද? එහෙම හිතපු මං මීවිත ඩිංගක් තොල ගෑවේ ඇගේ මතකයට ගුලිවෙමින්...

සීතල ඇතිරුනි
මිහිරිය ලය මත
කොද කෙමි පිපිරුණි
මධු පුරවා...
උණූසුම දිසුනේ

නෑ නෙතු මානෙක 
ඔබ ළග නැතිවම
අද මා තනිවම...

අන්තිමට රෑ 8ට විතර කඩාගෙන බිදගෙන ඈ ආවා. මං එයා දිහා සද්ද නැතිව බලාන හිටියා. "බස් නෑ අප්පා, එපා වුනා" එහෙම කියාගෙන මූණවත් නොබලාම එයා ගියේ කාමරේට. එතනත් පැයක් විතර එයා වොෂ් දානකං මං කඩෙන් ගෙනාපු කෑම එක පිගානකට දාලා තවත් පිගානකින් වැහුවෙ අසරණී තවත් දුක් විදිනවට  කැමති වුනේ නැති නිසාමයි. ආයෙත් මීවිත තොලගාන අතරවාරේ එයා දුහුල් ඇදුමක් ඇදගෙන කෑම කන්න ආවෙ නාහේ කඩාගෙන යන එයාටම ආවේණික වෙච්ච සුවදත් අරගෙනමයි. මං වීදුරුව පැත්තකින් තියලා ඈ දිහාම බලාන හිටියා. ඈ හොරෙන්ම මාත් එක්ක හිනාවුනා. ඔව්, අෑ සතුටින්. ඉතිං තව මොනවද?

පහන් නොදැල්වෙන
ඔබේ පැල්පත තුල
නිදිමත අඩ නෙතුපිය සනහා...
මගේම කදුලක් වී පිණිබිදු ලෙස
ඔබේ කවුළුව ළග පිපි මල් පෙති මත....

මුල් කාලෙ නම් මං බලාන  හිටියේ කාලා ඉවර වුන ගමන්ම ඈව තුරුලට ගන්න. ඒත් දැන් කාපු ගමන්ම ඈ ෆෝන් එක තුරුල් කරගන්නවා, යාලුවො එක්ක කතා කරන්න. මං තවත් වීදුරුවක් හිස් කරනව. පව්, එයාට ගොඩක් දේවල් ඇති කතාකරන්න යාලුවො එක්ක. ඉතිං මං ආයෙමත් වීදුරුවක් හිස් කරන්න ගන්නවා. තව ටිකකින් ඈට පුටුවෙම නින්ද ගිහින්. පව් කෙල්ල, මං එයාව උස්සගෙන ගිහින් ඇදින් තියලා මාත් ගෙදර හැමතැනම විදුලිය විසන්දි කරලා ඇදට යනව. බුදු පහනෙ තැඹිලි එළිය ලාවට දිලිහෙනව. මට නින්ද යන්නෙනෑ. හිත ඇතුලෙ වචන දාහක් හොල්මන් කරනවා එලියට දාපං දාපං කියකිය. මොනව කරන්නද, කියන්න කෙනෙක් නැතිවට. මං ආයෙමත් ඈ දිහා හිනාවෙලා බලනව. ඔන්න එතකොට මගෙ කෙල්ල මතුවෙන්න ගන්නවා. හීනෙන් හිනාවෙනව මාත් එක්ක. මොන මොනවද හුරතලෙන් කියවනවා. අත දාලා මාව බදාගන්නව. ඒත් හීනෙන්. මොනව උනත් ඒ තමයි මං කැමතිම වෙලාව. එයාට වෙලාව නැති වුනාට හීනෙන් හරි මාත් එක්ක ඉන්නවා. මං ඉතිං ඒකට හැමදාම අාදරේ කරනව... එච්චරයි!

Sunday, August 19, 2018

නුවරඑළිය, ශාන්තිපුර හරහා බදුල්ලට රෝද දෙකෙන් | Ultra Mini Tour to Badulla Via Shanthipura


රූට් එක (දළ වශයෙන්)

දවස අගෝස්තු 02, මාස දෙක තුනකට කලින් සේවා ස්ථානයෙන් මාරුවීමක් ලැබිලා පිටත් වෙලා ගිය බදුල්ලෙ සහෝදරයට පොරොන්දුවක් දීලා තිබුනා නිවාඩුවක් ලැබුන ගමන් අනිවා ඒ පැත්තට ගොඩවෙන්න එනවමයි කියලා. කොහොමින් කොහොමහරි ලැබුන හදිසි නිවාඩුවෙන් (ඇත්තටම කියනවනං නිවාඩුවක් නෙමෙයි රිලැක්ස් ටයිම් එකක්) ප්‍රයෝජනේ ගන්න හිතාන දවස් දෙක තුනකට කලින් චැට් එකක් දාලා ගමන යන්න දාගත්තා. මේ සැරේ නම් තනියම නෙමෙයි සේවා ස්ථානයේ මාත් එක්ක එකටම වැඩ කරන අසංකයත් එක්ක. දෙන්නට එක සැරේ නිවාඩු ගන්න එක කරන්න අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක් උනත්, කන කැස්බෑව මොන සිදුරෙන් මොකක්ද එක බලන්න යනවා වගේ අවුරුද්දකට සැරයක් විතරක් එන පොටක් පෑදුන නිසා ඌත් එකතු වුනා ගමන යන්න.

ඔව් ප්‍රියාදර රසික රසිකාවියනි, ෆයිනල් මොමන්ට් ට්‍රබල්ස් කියන්නෙ උඹටයි මටයි කාටත් සෑහෙන පුරුදු දෙයක් නොවැ. ඉතිං දෙයියනේ කියලා යන්න කලින් දවස් දෙකකට කලින් බලද්දියි දැක්කේ අසංකයගෙ බයික්කෙ ඉන්ෂුවරන්ස් ලයිසන් දෙකම එක්ස්පයර් වෙලා කියලා, ඒ මදිවට සර්විස් ඩේටුත් පැනලා හොදටම ... කිරි අප්පට බල්ලො පැනලා ආයෙත් පැනපි කිව්වලු. එහෙම උනයි කියලා අපි සැලෙයිද මිත්‍රවරුනි? එදා රෑම ඌව මැදවච්චියෙ ගෙදර යවලා (බයික්කෙන්ම) පහුවෙනිදා ඉන්ෂුවරන්ස් එක හදාගෙන සර්විස් කොරලා එහෙම ගත්තත් ලයිසන් එක ගන්න බැරිවෙලා සිස්ටම් ෆෝල්ට් එකක් නිසා. (මහ රෑ යන අතරමග  පොලෝසියෙන් අල්ලල දඩේකුත් ගහලා කියලා දන්නෙ පස්සෙ ඉතිං 😁) ඉතිං යන දවසෙ උදේ වරුව ඌ ඒකට මිඩංගු කරද්දි මටත් රාජකාරි ස්ථානයෙන් පැනගන්න සෑහෙන මැච් එකක් ගහන්න සිද්ධවුනා. කොහොමින් කොහොමහරි උදේ 10ට විතර මං කිරිබත්ගොඩින් පිටත් වෙද්දි අසංකය මැඩ්‍රාස් වලින් පිටත් වෙන්න අරන් තිබුනා. මුලින්ම ප්ලෑන් කලේ යද්දි රත්නපුර, බලංගොඩ හරහා යන්න වුනත් පස්සේ අරූට ගෙදර යන්න වුන නිසා ප්ලෑන් එක චේන්ජ් උනා. මං ඉතිං සුපුරුදු විදියට ගිහිල්ලා ගිහිල්ලා එපා වෙලා තියෙන නුවර පාර දිගේ හැල්මෙ බයික්කෙ පදින්ට වුනා.

ඉර මුදුන් වෙද්දිම වගේ ගලහ මංසන්ධියට සේන්දු වෙලා මං බලාන හිටියා අසංකයා එනකං. ඒ වෙනකොටත් ඌ කටුගස්තොට. ඉතිං ඉදල ඉදල බැරිම තැන ආයෙමත් මං ගම්පොල පාරට දාලා ටික දුරක් ගිහින් ඌ එනකං අනෝදා ජූස් පාරක් ගගහා හිටියා. ටික වෙලාවකට පස්සෙ ඔන්න කොල්ලා සේන්දු වුනා එතනට. පස්සෙ ඌටත් බොන්න අරන් දීලා (ජූස් බං ජූස්) නිල වශයෙන් ගමන පටන් ගත්තා. ගම්පොල, සුන්දර මතකයන් පිරි අටබාගෙ, පුස්සැල්ලාව හරහා PBC Highway එක දිගේ වේගයෙන් ඇදුන අපේ රෝදවලට නවතින්න වුනේ නාය යාම් වැළැක්වීමට නෙට් එලන්න පාර සම්පූර්ණයෙන් වහලා දාපු නිසයි. විනාඩි 10ක් 15ක් විතර ගමන පමා කරන්න සිද්ධ වුනත් අපි ට්‍රැෆික් එකේ අස්සෙන් අස්සෙන් දාලා පෝලිමේ මුලටම ඇවිත් යතුරුපැදිත් නතරකරලා ඒක දිහා බලාන හිටියෙ අනතුරු වලක්වන්න කල්තියාම ගන්න මේ අසීරු වෑයමට අපි බාධා කරන්න හොද නැති නිසයි.

අවධානමට පෙර සූදානම

රම්බොඩ ලංවෙලා ලස්සන ලොකේෂන් එකක් තියෙන තැනකින් උණු උණු රොටී කීපයක් ගිලලා ප්ලේන්ටියක් ගැහුවෙ දවල් කෑමත් හවස ටී එකත් එකටම කවර් කරලා 3ත් පහු වෙලා.😇 ඊටපස්සෙ හැටට හැටේ ආපු විදියට තත්පර 10ක් යන්නත් කලින් රම්බොඩ ටනල්  එකත් පාස් වුනා නෙව දන්නෙම නැතිව. එහෙම කොහොමැයි කරන්නේ? ආපහු බයික්ක දෙක හරෝගෙන ආයෙත් ඇවිත් ආයෙත් ගියා ටනල් එක අස්සෙන් හසාඩුත් ගහාගන (දැන් අහන්න එපා බයික්කෙ කොයින්ද හසාඩ් කියලා). අපේ පලවෙනි ස්ටොප් එක වුනේ ශාන්තිපුර වීව්  පොයින්ට් එක. සෑහෙන අමාරු වුනා පාර හොයාගන්න මේන් රෝඩ් එකෙන් හැරෙන්නෙ කොහෙන්ද කියලා. කොහොමින් කොහොමහරි එතනට ගිහින් 360ක් එහෙම අමාරුවෙන් අටෝගත්තා, ඒත් ඒක සාර්ථක වුනේ නම් නෑ.  බලන්න ලොකූ දෙයක් නැති වුනත් ඈතින් නුවරඑළිය ඒරියා එකම පේනවා ලස්සනට. පිදුරුතලාගල ඇතුලු කදු පන්ති ගොඩක්ම එතෙනට පේනවා කියලා එතන හිටපු කෙනා කිව්වත් මීදුම නිසා එච්චර දුරක් නම් බලාගන්න වාසනාවක් තිබුනෙ නෑ අපිට. ආහ් කියන්න අමතක වුනා ශාන්තිපුර කිව්වම ගොඩ දෙනෙක් දන්නවා ඇති නෙහ්! දන්නැති අයට කියන්නම් ශාන්තිපුර කියන්නෙ ලංකාවේ උසින්ම පිහිටි "ගම".පිහිටලා තියෙන්නෙ කිකිලියමාන කදුවැටිය ආශ්‍රිතව. ගොඩක් අය පට්ටිපොලත් එක්ක ඒක පටලව ගන්නවා. එතන තියෙන්නෙ දුම්රිය ස්ථානය විතරයි.  පට්ටිපොල දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ ඉදන් මීටර් 1897.5 ක් වෙද්දි ශාන්තිපුර ගම්මානය මුහුදු මට්ටමේ ඉදන් මීටර් 2039 ක උසකින් යුක්ත වෙනවා.

ශාන්තිපුර පිවිසුම

අවුල් ගිය 360ය (ක්ලික් කරන්න)

හරි, අටුවා ටීකා ටිප්පනි වලින් පස්සෙ අපි හැටට හැටේ නුවරඑළිය හරහා වැලිමඩට ඇද්දා. පෞද්ගලිකව මං ලංකාවේ ආසම කරන පාර තමයි නුවරඑළිය පාර, ඉඩකඩ තියෙන වංගු එක්ක ස්මූත් කාපට් එක 😍 ලස්සනට හීනියට ඩ්‍රිෆ්ටින් පාරකුත් දාගෙන යන්න කියාපු පාර. ඒ නිසාම තමයි නුවරඑළිය හරහා ආයෙමත් සැරයක් යන්න ඔන වුනේ අපිට. වැලිමඩට එද්දි ඇදිරි වැටීගෙන ආපු නිසාම ඉක්මන් කරලා හාලිඇලෙන් නැවතත් සුපුරුදු බදුලු පාට දාලා බදුල්ලට එන්න අපි පටන් ගත්තා. බදුල්ලෙනුත් මහියංගනය පාරෙන් සෑහෙන දුරක් ගිහින් ආයෙත් අතුරු පාරකට දාලා පැය බාගක විතර යකාගෙ පඩිපෙලටත් අන්ත චප්ප  චොර පාරක් දිගේ ඇවිත් තමයි ගමනාන්තයට ලගාවුනේ. ඒ ටික කියලා වැඩක් නෑ බලලම ඉන්ටකො.


රෑ ජාමෙ එහෙට ගොඩවැදිලා එහෙන්මම ලග තිබුන උල්පත් ජලය පිරිච්ච සීතල වතුර ටැංකියකින් නාකියාගෙන කාරිය රෑ වෙලා බජව්වක් දාන්නත් අපි අමතක කලෙ නෑ. ඒ වගේම සුපිරියට අමතක නොවෙන ආගන්තුක සත්කාරයක් අපිට දෙන්නත් අපේ මිතුරා කටයුතු කරලා තිබුනා. විශේෂම කාරණය තමයි ඒ පැත්තෙ කිතුල් ගස් එහෙම එමට😁.

කිතුලෙ පිහිටෙන් දෙයියනේ⁣ කියලා පහුවදා උදේ 9 විතර වෙනකං ⁣නිදාගන්නත් අපිට පුලුවන් උනා. ඊටපස්සෙ 10.30ට විතර අපි ආපහු එන්න පිටත් උනේ වෙනස්ම පාරකින්. මිනිපෙ ඇල පෙනි පෙනී වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ මායිමෙන් නුවරට වැටිලා තියෙන පාර දිගේ අපේ බයික් දෙක ආවේ හැටට හැටේ.  


රන්දෙණිගල...

...ඩෑම්

රන්දෙණිගල ජලාශය

 ඇත්තටම කියනවනං වේලි වේලි තියෙන ඒ පාරවල් වලට 150cc ගෑවෙන්නවත් මදි. කොහොමින් කොහොම හරි පැය දෙකක් හමාරක් යද්දි අපි අවට සිරි අසිරියත් බලාගනෙම නුවරට සේන්දු උනා. එතනින් නැවතත් අංසකයට අනුරාධපුරේ යන්න ඉඩදීලා මං ආපහු කිරිබත්ගොඩ බලා පිටත් වුනේ ගතවුන සතිය තුල 3 වෙනි වරටත් නුවර නගරය හරහා යතුරුපැදියෙන් ගමන් කරමින්. ඉතුරු ටිකේ නම් ඉතිං විශේෂ දෙයක් නෑනෙ. සුපුරුදු නුවර - කොළඹ පාරේ ඒකාකාරි, බිහිසුණු, ඒපාවෙන රයිඩ් එකකින් පැය දෙකකට පස්සෙ ට්‍රිප් මීටරේ 489km ගෙවාගෙන මං නවාතැනට සේන්දු උනා.

Trip මීටරේ