Monday, January 31, 2022

එකම එක හදවතක්! | A heart only for you



මං ඈට දුන්නෙ රෝස මලක්වත්, චොකලට් එකක්වත් නෙමෙයි. පෑනක්!
ඒත් ඈ ඒකට ගොඩක් ආස උනා. 
ඈ ආසාවෙන් ඒක අරගෙන අතේ මොන මොනවාදෝ කුරුටු ගෑවා.

"තුඩ හීනි පෑනක්! මං හරි ආසයි ඒවට. 'සැහැල්ලුවෙන්' ලියන්න පුලුවන්."

ඈ කීවෙ එහෙම. මම එයා දිහා බලාගෙන හිනාවුනා. යන්තමට වගේ.
එයාත් මගෙ ඇස් දිහා බැලුවා. 

ඔය ඉතිං...!
-ටෙලිපතිද? 

මං ඇහුවෙ මේ තරම් ඉක්මන්ට හිත් කියවන්න ඈට මා තරම්වත් මට ඈ තරම්වත් වෙන කවුරුවත් කවදාවත් නොසිටි බවත්, කවදාවත් නොසිටින බවත් හොදටෝම දැනගෙන...

*********************************

කිලෝමීටර් සියගණනක් යතුරුපැදිය එක හුස්මට පැදගෙන ආපු මම වේගය හොදටෝම අඩුකරලා පාර අයිනෙ ‌හෙවනක නැවැත්තුවෙ පැය ගාණක මහන්සිය නිවන්න හිතාගෙන. කකුල් දෙකයි පස්සයි හොදටම රිදෙන හින්දා බයික් එකෙන් බැහැලා මං කකුලට පොඩි එක්සයිස් එකක් දෙන්න පටන්ගත්තා.
ඒත් එක්කම කෝල් එකක්! හිතපු නැති වෙලාවක හිතපු නැති කෙනෙක්ගෙන්.

අයියේ!
-ම්...
මොකද කරන්නෙ? 
-පාරෙ ඉන්නෙ මං
පාරට වෙලා මොකද කරන්නෙ
-මතක අහුලනවා
ඇයි පාරේ? මතක අහුලන්න යන්න අපේ ලිෆ්ට් එක ලගට, ස්ටෙයාක‌ේස් එකට... 
ඈ කිව්වෙ හරිම රොමෑන්තික විදියට.

-මට ඔනෙ මතක හදන්න. මං උත්තර දුන්නා.
ඒ කොහොමද?

එක පාරටම ඈ වීඩියෝ කෝල් එකක් ගත්තා. 
කොහෙද යන්නෙ?
-දිග... ගමනක්! කිලෝමීටර් සියගාණක් ඈතට.
මට කියන්න බැරි ගමනක්ද? ඒක අහපු විදියට මගෙ පපුව පිච්චිලා ගියා.
මං තත්පර කීපයක් ගොලු උනා.

-මං කියන්නෙ නෑ ඔයාට. ඒත් දැනෙන්න දෙන්නම්.
ඒ කොහොමද?

මං හිනාවුනා විතරයි. මං හිනාවුනා...

                                                      *********************************

මං හෙල්මට් එක ගැලෙව්වා. ඈ මං දිහා කට ඇරගෙන බලාන හිටියා. 
ඒක අපේ ඇගිලි තුඩු පලමුවරට වැදුනම ආපු කරන්ට් එක වගේ තිස් තුන්දාස් ගුණයට වැඩි මිසක් අඩු නොවන විත්තිය විතරයි මං දැනං හිටියෙ. ඒ තරමට ඒ කෙල්ල ‌ශොක් වෙලා හිටියෙ.

"පිස්සුද?" මූණට ආපු ‌එළිය හං‌ගගෙන නපුරු මූණක් බලෙන් හදාගෙන ඈ කිව්වා.
-ඔයා දන්නවනෙ!
"හොදටම පිස්සු!"
මෙච්චර වෙලාවක් තදකරන් හිටපු නපුරු මූණ කඩාගෙන සන්තෝසයයි, ලැජ්ජාවයි මික්ස් වෙච්ච ලස්සනම මූණක් මං ඒ වෙලාවෙ දැක්කා. තාමත් මට ඒක මැවිලා පේන තරමට ඒක මගෙ මතකයට වැදුනා.