Sunday, August 19, 2018

නුවරඑළිය, ශාන්තිපුර හරහා බදුල්ලට රෝද දෙකෙන් | Ultra Mini Tour to Badulla Via Shanthipura


රූට් එක (දළ වශයෙන්)

දවස අගෝස්තු 02, මාස දෙක තුනකට කලින් සේවා ස්ථානයෙන් මාරුවීමක් ලැබිලා පිටත් වෙලා ගිය බදුල්ලෙ සහෝදරයට පොරොන්දුවක් දීලා තිබුනා නිවාඩුවක් ලැබුන ගමන් අනිවා ඒ පැත්තට ගොඩවෙන්න එනවමයි කියලා. කොහොමින් කොහොමහරි ලැබුන හදිසි නිවාඩුවෙන් (ඇත්තටම කියනවනං නිවාඩුවක් නෙමෙයි රිලැක්ස් ටයිම් එකක්) ප්‍රයෝජනේ ගන්න හිතාන දවස් දෙක තුනකට කලින් චැට් එකක් දාලා ගමන යන්න දාගත්තා. මේ සැරේ නම් තනියම නෙමෙයි සේවා ස්ථානයේ මාත් එක්ක එකටම වැඩ කරන අසංකයත් එක්ක. දෙන්නට එක සැරේ නිවාඩු ගන්න එක කරන්න අමාරු වැඩක් නෙමේ කරන්න බැරි වැඩක් උනත්, කන කැස්බෑව මොන සිදුරෙන් මොකක්ද එක බලන්න යනවා වගේ අවුරුද්දකට සැරයක් විතරක් එන පොටක් පෑදුන නිසා ඌත් එකතු වුනා ගමන යන්න.

ඔව් ප්‍රියාදර රසික රසිකාවියනි, ෆයිනල් මොමන්ට් ට්‍රබල්ස් කියන්නෙ උඹටයි මටයි කාටත් සෑහෙන පුරුදු දෙයක් නොවැ. ඉතිං දෙයියනේ කියලා යන්න කලින් දවස් දෙකකට කලින් බලද්දියි දැක්කේ අසංකයගෙ බයික්කෙ ඉන්ෂුවරන්ස් ලයිසන් දෙකම එක්ස්පයර් වෙලා කියලා, ඒ මදිවට සර්විස් ඩේටුත් පැනලා හොදටම ... කිරි අප්පට බල්ලො පැනලා ආයෙත් පැනපි කිව්වලු. එහෙම උනයි කියලා අපි සැලෙයිද මිත්‍රවරුනි? එදා රෑම ඌව මැදවච්චියෙ ගෙදර යවලා (බයික්කෙන්ම) පහුවෙනිදා ඉන්ෂුවරන්ස් එක හදාගෙන සර්විස් කොරලා එහෙම ගත්තත් ලයිසන් එක ගන්න බැරිවෙලා සිස්ටම් ෆෝල්ට් එකක් නිසා. (මහ රෑ යන අතරමග  පොලෝසියෙන් අල්ලල දඩේකුත් ගහලා කියලා දන්නෙ පස්සෙ ඉතිං 😁) ඉතිං යන දවසෙ උදේ වරුව ඌ ඒකට මිඩංගු කරද්දි මටත් රාජකාරි ස්ථානයෙන් පැනගන්න සෑහෙන මැච් එකක් ගහන්න සිද්ධවුනා. කොහොමින් කොහොමහරි උදේ 10ට විතර මං කිරිබත්ගොඩින් පිටත් වෙද්දි අසංකය මැඩ්‍රාස් වලින් පිටත් වෙන්න අරන් තිබුනා. මුලින්ම ප්ලෑන් කලේ යද්දි රත්නපුර, බලංගොඩ හරහා යන්න වුනත් පස්සේ අරූට ගෙදර යන්න වුන නිසා ප්ලෑන් එක චේන්ජ් උනා. මං ඉතිං සුපුරුදු විදියට ගිහිල්ලා ගිහිල්ලා එපා වෙලා තියෙන නුවර පාර දිගේ හැල්මෙ බයික්කෙ පදින්ට වුනා.

ඉර මුදුන් වෙද්දිම වගේ ගලහ මංසන්ධියට සේන්දු වෙලා මං බලාන හිටියා අසංකයා එනකං. ඒ වෙනකොටත් ඌ කටුගස්තොට. ඉතිං ඉදල ඉදල බැරිම තැන ආයෙමත් මං ගම්පොල පාරට දාලා ටික දුරක් ගිහින් ඌ එනකං අනෝදා ජූස් පාරක් ගගහා හිටියා. ටික වෙලාවකට පස්සෙ ඔන්න කොල්ලා සේන්දු වුනා එතනට. පස්සෙ ඌටත් බොන්න අරන් දීලා (ජූස් බං ජූස්) නිල වශයෙන් ගමන පටන් ගත්තා. ගම්පොල, සුන්දර මතකයන් පිරි අටබාගෙ, පුස්සැල්ලාව හරහා PBC Highway එක දිගේ වේගයෙන් ඇදුන අපේ රෝදවලට නවතින්න වුනේ නාය යාම් වැළැක්වීමට නෙට් එලන්න පාර සම්පූර්ණයෙන් වහලා දාපු නිසයි. විනාඩි 10ක් 15ක් විතර ගමන පමා කරන්න සිද්ධ වුනත් අපි ට්‍රැෆික් එකේ අස්සෙන් අස්සෙන් දාලා පෝලිමේ මුලටම ඇවිත් යතුරුපැදිත් නතරකරලා ඒක දිහා බලාන හිටියෙ අනතුරු වලක්වන්න කල්තියාම ගන්න මේ අසීරු වෑයමට අපි බාධා කරන්න හොද නැති නිසයි.

අවධානමට පෙර සූදානම

රම්බොඩ ලංවෙලා ලස්සන ලොකේෂන් එකක් තියෙන තැනකින් උණු උණු රොටී කීපයක් ගිලලා ප්ලේන්ටියක් ගැහුවෙ දවල් කෑමත් හවස ටී එකත් එකටම කවර් කරලා 3ත් පහු වෙලා.😇 ඊටපස්සෙ හැටට හැටේ ආපු විදියට තත්පර 10ක් යන්නත් කලින් රම්බොඩ ටනල්  එකත් පාස් වුනා නෙව දන්නෙම නැතිව. එහෙම කොහොමැයි කරන්නේ? ආපහු බයික්ක දෙක හරෝගෙන ආයෙත් ඇවිත් ආයෙත් ගියා ටනල් එක අස්සෙන් හසාඩුත් ගහාගන (දැන් අහන්න එපා බයික්කෙ කොයින්ද හසාඩ් කියලා). අපේ පලවෙනි ස්ටොප් එක වුනේ ශාන්තිපුර වීව්  පොයින්ට් එක. සෑහෙන අමාරු වුනා පාර හොයාගන්න මේන් රෝඩ් එකෙන් හැරෙන්නෙ කොහෙන්ද කියලා. කොහොමින් කොහොමහරි එතනට ගිහින් 360ක් එහෙම අමාරුවෙන් අටෝගත්තා, ඒත් ඒක සාර්ථක වුනේ නම් නෑ.  බලන්න ලොකූ දෙයක් නැති වුනත් ඈතින් නුවරඑළිය ඒරියා එකම පේනවා ලස්සනට. පිදුරුතලාගල ඇතුලු කදු පන්ති ගොඩක්ම එතෙනට පේනවා කියලා එතන හිටපු කෙනා කිව්වත් මීදුම නිසා එච්චර දුරක් නම් බලාගන්න වාසනාවක් තිබුනෙ නෑ අපිට. ආහ් කියන්න අමතක වුනා ශාන්තිපුර කිව්වම ගොඩ දෙනෙක් දන්නවා ඇති නෙහ්! දන්නැති අයට කියන්නම් ශාන්තිපුර කියන්නෙ ලංකාවේ උසින්ම පිහිටි "ගම".පිහිටලා තියෙන්නෙ කිකිලියමාන කදුවැටිය ආශ්‍රිතව. ගොඩක් අය පට්ටිපොලත් එක්ක ඒක පටලව ගන්නවා. එතන තියෙන්නෙ දුම්රිය ස්ථානය විතරයි.  පට්ටිපොල දුම්රිය ස්ථානය මුහුදු මට්ටමේ ඉදන් මීටර් 1897.5 ක් වෙද්දි ශාන්තිපුර ගම්මානය මුහුදු මට්ටමේ ඉදන් මීටර් 2039 ක උසකින් යුක්ත වෙනවා.

ශාන්තිපුර පිවිසුම

අවුල් ගිය 360ය (ක්ලික් කරන්න)

හරි, අටුවා ටීකා ටිප්පනි වලින් පස්සෙ අපි හැටට හැටේ නුවරඑළිය හරහා වැලිමඩට ඇද්දා. පෞද්ගලිකව මං ලංකාවේ ආසම කරන පාර තමයි නුවරඑළිය පාර, ඉඩකඩ තියෙන වංගු එක්ක ස්මූත් කාපට් එක 😍 ලස්සනට හීනියට ඩ්‍රිෆ්ටින් පාරකුත් දාගෙන යන්න කියාපු පාර. ඒ නිසාම තමයි නුවරඑළිය හරහා ආයෙමත් සැරයක් යන්න ඔන වුනේ අපිට. වැලිමඩට එද්දි ඇදිරි වැටීගෙන ආපු නිසාම ඉක්මන් කරලා හාලිඇලෙන් නැවතත් සුපුරුදු බදුලු පාට දාලා බදුල්ලට එන්න අපි පටන් ගත්තා. බදුල්ලෙනුත් මහියංගනය පාරෙන් සෑහෙන දුරක් ගිහින් ආයෙත් අතුරු පාරකට දාලා පැය බාගක විතර යකාගෙ පඩිපෙලටත් අන්ත චප්ප  චොර පාරක් දිගේ ඇවිත් තමයි ගමනාන්තයට ලගාවුනේ. ඒ ටික කියලා වැඩක් නෑ බලලම ඉන්ටකො.


රෑ ජාමෙ එහෙට ගොඩවැදිලා එහෙන්මම ලග තිබුන උල්පත් ජලය පිරිච්ච සීතල වතුර ටැංකියකින් නාකියාගෙන කාරිය රෑ වෙලා බජව්වක් දාන්නත් අපි අමතක කලෙ නෑ. ඒ වගේම සුපිරියට අමතක නොවෙන ආගන්තුක සත්කාරයක් අපිට දෙන්නත් අපේ මිතුරා කටයුතු කරලා තිබුනා. විශේෂම කාරණය තමයි ඒ පැත්තෙ කිතුල් ගස් එහෙම එමට😁.

කිතුලෙ පිහිටෙන් දෙයියනේ⁣ කියලා පහුවදා උදේ 9 විතර වෙනකං ⁣නිදාගන්නත් අපිට පුලුවන් උනා. ඊටපස්සෙ 10.30ට විතර අපි ආපහු එන්න පිටත් උනේ වෙනස්ම පාරකින්. මිනිපෙ ඇල පෙනි පෙනී වික්ටෝරියා, රන්දෙණිගල, රන්ටැඹේ ජලාශ මායිමෙන් නුවරට වැටිලා තියෙන පාර දිගේ අපේ බයික් දෙක ආවේ හැටට හැටේ.  


රන්දෙණිගල...

...ඩෑම්

රන්දෙණිගල ජලාශය

 ඇත්තටම කියනවනං වේලි වේලි තියෙන ඒ පාරවල් වලට 150cc ගෑවෙන්නවත් මදි. කොහොමින් කොහොම හරි පැය දෙකක් හමාරක් යද්දි අපි අවට සිරි අසිරියත් බලාගනෙම නුවරට සේන්දු උනා. එතනින් නැවතත් අංසකයට අනුරාධපුරේ යන්න ඉඩදීලා මං ආපහු කිරිබත්ගොඩ බලා පිටත් වුනේ ගතවුන සතිය තුල 3 වෙනි වරටත් නුවර නගරය හරහා යතුරුපැදියෙන් ගමන් කරමින්. ඉතුරු ටිකේ නම් ඉතිං විශේෂ දෙයක් නෑනෙ. සුපුරුදු නුවර - කොළඹ පාරේ ඒකාකාරි, බිහිසුණු, ඒපාවෙන රයිඩ් එකකින් පැය දෙකකට පස්සෙ ට්‍රිප් මීටරේ 489km ගෙවාගෙන මං නවාතැනට සේන්දු උනා.

Trip මීටරේ
 

Thursday, July 12, 2018

දරු පැටියෙක්!


මට දරු පැටියෙක් ඔනෙ!
- මේ දැන්?
දැන් නෙමෙයි මැට්ට‌ො, බැදපු ගමන්ම
- දෙන්නංකෝ පෝලිමක්ම,  පඩිපෙල වගේ
මං හිනාවුනා...

- තමුසෙ කොහෙද මෙච්චරකල් හිටියේ?
- මොන රෙද්දක් කලාද අතුරුදහන් වෙලා.
මං බැනගෙන බැනගෙන ගියේ ලොකුම ආවේගයකින්. ඒක ඇතුලේ හීනියට සතුටකුත් නොතිබුනා නෙමෙයි.
අඩුගානෙ ආයෙත් සැරයක් එයාව දකින්න ලැබුන නිසා. මං විනාඩි කීපයක් තිස්සේ ඈට බැන්නත් එයා සද්දයක්වත් කලේ නෑ, අහිංසක ඇස් දෙක තෙත් කරගෙන මං දිහා බලාන ඉන්න එක ඇරෙන්න.

අයිය‌ේ! අන්තිමට ඈ කතාකරන්න ගත්තා
- ම්....
මං ඔයාගෙන ඈත් වුනේ හේතුවක් තියෙන නිසා
- හැම කෙල්ලම කියන්නේ ඒක තමයි, මං අමුතු හිනාවක් දාලා කිව්වා
නෑ, මං අනිත් අය වගේ නෙමෙයි,
මං හැමදේම කියන්නම්, ඈ පොරොන්දු වුනා.

 මං ඈත ආකාහෙ දිහා ආයෙමත් බලන් හිටියා. අද වලාකුළු හරිම නිශ්චලයි, පාවෙන්න කම්මැලි කමටද... නැත්නම් ඒවාත් කම්පා වෙලාද? මගෙ පපුව වගේ!

මං ආයෙමත් දුම් උගුරක් කටේ පුරවගත්තා. මේ වගේ කම්පනයක් දරාගන්න නොමල් නිකොටින් දුමකට කොහොමත්ම බෑ. ඒකට ඊටත් වඩා ගැඹුරකට යන්න පුලුවන් වෙන්නම ඔනෙ. ඇග ඇතුලට හීනයට දාගත්ත ඒ දුම් උගුර මාවම පුච්චගෙන ගියෙ වේදනාව දෙගුණ තෙගුණ කරමින්. ඒක හරියට ඈ අවුරුදු ගානක් වින්ද දුක එක සැරේ ඇගෙන් හොරාගන්නවා වගේ වැඩක්.

ඔයා හොදටම දැනන් හිටියා, මං දරු පැටියෙක්ට කොච්චර ආස කාලද කියලා
- ඉතින්?
මට ඒ වාසනාව නෑ අයියේ,
- ඔයා කොහොමද දැන්ම එහෙම කියන්නෙ
මං දන්නවා, මට ඩොක්ට කිව්වා
- බය වෙන්නෙපා අපි මොකක් හරි විදියක් බලමු ඉතින්,
නෑ අයියෙ, ඒකට කරන්න දෙයක් නෑ... එදා වුන ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මට දරු පැටියෙක් දරාගෙන ඉන්න බැරි....
- කට වහපන්! කමක් නෑ, අපෙ ලෙයින් පැටියෙක් හදමු.. ඔයාගෙ බඩෙ වෙන්නම ඕනෙ නෑනෙ
බෑ... බෑ... බෑමයි! මං කැමති නෑ මගෙ පැටියා වෙන තැනක උපදිනවට😡
- ඉතිං ළමයො...
බෑ අයියෙ, ඔයා යන්න... මට ඔයාව තාත්තා කෙනෙක් කරන්න තරම් වාසනාවක් නෑ.
- කමක් නෑ, මං ඉන්නම් ඔයත් එක්ක.
මෝඩයා, යනවා යන්න... ඉස්සසර වගේමයි, කියන දෙයක් අහන්නෙම නෑනෙ. මං යනවා අයියෙ...

ඔයා ඒ දේ දැනගන්න ඕනෙ නැති නිසයි මං කිව්වෙ නැත්තෙ. ඒ්ත් ආයෙත් කියන්න එපා මං  නොකියා ගියා කියලා.... ඈ ආයෙමත් විසන්ධි වුනා. ආපහු කවදාවත් කතා නොකර ඉදිවී කියලා මං හිතන්නෙ නෑ, ඒත් ඒ කවදද කියන්න මට හිතාගන්නත් බෑ, එයාට හිතාගන්නත් බැරිව ඇති.

 ඈ මගෙන් ගියේ හේතුවකට, ඔව් ලොකූ හේතුවකට. ඒත්... ඒක නෙමෙයි කරන්න තිබුනෙ. මං තාම විශ්වාස කරනවා එහෙම. ඊලග දුම් උගුරෙන් පෙනහලු පුච්චන ගමන් මං හිතුවා...

Monday, June 4, 2018

තිත්ත | The Bitter Truth


සමහර දේවල් තියෙනවා
අපි කැමතිම දේ නොවුනත්
අපිට කරන්න වුන දේවල්...
හොදකට හරි නරකට හරි
ඒත්, ඇයි අපි
ඒක අතාරින්නෙ නැත්තෙ?
අපි බයයි
අපිට නැතිවෙයි කියලා
උන්න අත්තයි, පය ගහපු අත්තයි
දෙකම...
කොච්චර දුක් වින්දත්
කොච්චර කරන්න වුනත්
අකමැති දේවල්,
අපි තාමත් පෙන්නනවා
හැමෝටම
අපි ඉන්නෙ
හරිම සතුටින් කියලා
සමාජෙට...
ඒක උඹටත් පොදුයි, මටත් පොදුයි...
සමහර දේවල් තියෙනවා
කියන්නට හිතුනත්
කෙතරම්,
කියන්නට බැරි දේවල්
එකම හේතුව;
කවුද කැමති පෙන්නන්න
අපි ඉන්නෙ
මඩ වලක කියලා
රස්සාව වෙන්න පුලුවන්,
ඉගෙනගන්න එක වෙන්න පුලුවන්,
ව්‍යාපාරය වෙන්න පුලුවන්
තමන්ගෙ ජීවිතේ
මොකක් හරි කොටසක්
වෙන්න පුලුවන්,
උඹ කෙතරම්
උගත් වුනත්
සල්ලිකාරයෙක් වුනත්
මොන ඉහල තානාන්තරයක උන්නත්
මේ උඹේ කතාව නෙමෙයිද?
දුක කියනවා වෙනුවට
අපි පුරුදු වෙනවා
හිනාවෙන්න එ්කට
පෙන්නන්නට
පට්ට ආතල් ජීවිතයක් කියලා
අපි හැමෝම ගතකරන්නෙ,
එකට එකතුවෙලා
ඒත්... ඒක
ව්‍යාජ හිනාවක්!
ඒක දන්නෙ
උඹම විතරයි
ගතින් හිනා වුනාට
හිත අඩන බව
දන්නවා උඹ
හැමෝම එකතුවෙලා
කදේ දාගෙන
"අපි" , "අපේ" කියලා
මහ හයියෙන් කිව්වට
ඒක බොරුවක්ම
විතරයි කියලා
උඹේ හිත දන්නවා
කරදයක් වුනාම
පේන්න රගන හැමෝම
උණුසුම ගියාම
හොයන්නවත් නැතිවෙනවා කියලා
උඹ දන්නවා
උඹට ඕනෙ
මේකෙන් මිදෙන්න
උඹ ඉන්නවා
අල්ලගෙන ඒත්
බොරුවට
සතුටු වෙවී;
අඩුගානෙ
එහෙම පෙන්නලා...
ඒක හරියට,
අස්සයා පිටේ
කැන්දන් යන්නට
ඉන්නවා වගේ
එනකං කුමාරයෙක්...
ඔව්,  අල්ලාන ඉමු
එතකං...
හැබැයි එක දෙයක්!
පරිස්සම් වෙන්න
ඒ වෙනකං වත්
එකට ඉන්න උන්ගෙ
චාටුවට අහුනොවෙන්න
මතක තියාගන්න
සැනසීම තියෙන්නෙ
"එකම එක තැනක"
විතරක්ම බව...