Wednesday, April 22, 2015

අපේ ගමේ අවුරුදු ආතල්




ඔන්න තවත් අවුරුද්දක් නිමාවුනාය.නමුත් මේ අවුරුද්දේත් රසවත් අත්දැකීම් කිහිපයක් අපට ලැබුනාය.අද මං කියන්‍න හදන්නේ අවුරුදු උත්සව හා බැදුනු අපූරු සිදුවීම් කිහිපයක් ගැනය. අවුරුදු උත්සව යන වචනය ඇසනු විටම අපිට සිහියට එන්නේ බයික් රේස්ය.ආහ්..නෑ..බයිසිකල් රේස්ය.බයිසිකල් රේස් එකක් නැති අවුරැදු උත්සවයක් යනු පරිප්පු නැති හෝටලයක් වගේය.ඒ තරමට එය අදවනවිට අවුරැදු උත්සව හා සමග බැදී තිබේ.

බයිසිකල් රේස් ගැන මතක් කරනවිට කියන්නට කතා බොහෝමයක් ඇත.මම නම් අවුරැදු උත්සවයකදී කැමතිම මෙව්වා එක මේ ඉවෙන්ට් එකය.අනේ ඒ වුනාට මලාට රේස් එකක් නම් පැද නැත්තේය.(අම්මටහුඩු..එකක් නම් හතිදාගෙන පැද ඇත.එදායින් පසුව පදින්නට හීනෙන්වත් හිතා නැත) කොල්ලෝ කුරුට්ටෝ කොරන ආතල්ම වැඩේ රේස් එක පස්සේන් යාමය.පස්සෙන් යන ආකාර කිහිපයක් ඇත්තේය.පලමු ක්‍රමය වන්නේ ප්‍රචාරක රථයේ නැගී මරහඩ දිදී කෙලගෙන යාමය.අපේ ගමේ මරු බුලට් එකක් ඉන්නවාය.මං හිතන්නේ මූ ඉදුල් කටගෑමේ දිනයේදීම අතතබා ඇත්තේ වාහනයකටය.මේකා සමග ගමනක් ගියොත් බහින්නේ කබරයා සෙට් කරගෙනය.ඒ තරම් ආරක්ෂාකාරී ලෙස මූ වාහන එලවනවාය.
දිනක් කොල්ලෝ කීපදෙනෙක් සමග බට්ටෙක් මත නැගී ප්‍රචාරක රථයේ පිටිපස අපි යනවාය.වට කීපයක් සාර්ථක ලෙස රේස් එක ගමන්ක‍ලාය.දැන් ඉතින් මග දෙපස හුදී ජනයා පස්වනක් ප්‍රීතියෙන් වතුර ගසන්නට මග රැක සිටිනවාය.එක්වරම මේ යකා වාහනේ වේගය වැඩිකරමින් කෙලගෙන යන්නට විය.එක්වරම මූ ඔයක් අසලින් වාහනය නතර කලාය.අම්මට හුඩු..ඒ අසල සිටි හුදී ජනයා අපිට කැත නැතිව වතුරවලින් සංග්‍රහ කලාය.පස්සේ දැනගත්පරිදි එය සැලසුම්සහගත ක්‍රියාවක් බව අපට හොදටෝම පසක්විය.

රේස් පස්සෙන් යන ආතල්ම ක්‍රමය වන්නේ බයික් එකක් සෙට්කරගෙන යාමය.දිනක් අපේ අයියා කෙනෙක්ගේ ටුවින් එකක නැගී අපි තිදෙනෙකු රේස් එක පස්සෙන් ගමන් කරමින් සිටියෙමු.ඒකේ ඩ්‍රයිවරයාද මොලෝ කමකට නැති එකකි.හිසට ඔලුවක්වත් නැතිව මං ගියේ පන බයේය.එහෙන් මෙහෙන් වෙට්ටු දමා යනවිට තවපොඩ්ඩෙන් පාපැදිකරුවෙක් චකබ්ලාස් වනවාය.ඒ යකාගේ මල ජම්ප් වී අපට අම්මා මුත්තා මතක්කර ජාතිය අමතන්නට විය.

මම පෞද්ගලිකවම රේස් පස්සේ යාමට ඇති ආසාවට තවත් හේතුවක් ඇත්තේය.වෙනදාට පාරේ යනවිට අපි යන්නේ නීතිරීති ගැන ඉතා සැලකිල්ලෙනි.එවා කඩන්නේ ඉතා කලාතුරකිනි.(අහිසකකමට නොව අයියලා මග දෙපස හැංගිමුත්තන් කොරන නිසාය) නමුත් මෙදින අපට නිදහස් දිනයකි.හෙඩ ගහගෙන,දකුණෙන් දාගෙන,ඉරි කපාගෙන,මරහඩ දීගෙන,හූ කියාගෙන,මංසන්ධි බ්ලොක්කරගෙන පාරේ අණසක පතුරවන එකෙත් අමුතුම ගතියක් ඇත්තේය.

අවුරුදු උත්සවය ගැන කතාකරන්නට පටන් ගත්තාට කතාව වෙනම පැත්තකට ඇදී ගියාය.මේ එක්කම සෙට්වෙන තවත් කතාවක් මට මතක් වෙනවාය.හැමතැනටම පිලිකාවක් සේ පැතිර ඇති දේසපාලනය මේකටද රිංගලාය.අපේ උනුත් අවුරුදු උත්සවේට දේසපාලනේ ගාවාගෙන වැ‍ඩේ ගූ කරගන්නවාය.එක් අවුරුද්දක ‍රේස් එකක් පටන්ගන්නට මෙරට පරසිද්ද කප්පම්කාර දේසපාලුවෙකුට ආරාධනා කොර ඒ යකා පරක්කු වී දවසම එපා කරවීය.

ආහ්..මේ සැරේ සිදූවූ මර සිදුවීමක් මට මතක් වෙනවාය.අපේ ගමේ මට වඩා අවුරුද්දක් විතර වැඩිමල් සූකිරි අක්ක කෙනෙක් ඉන්නවාය.වැඩිය පේන්න නම් සිටින්නේ නැතිවාය.ඒත් ඉදලා ඉදලා බහින්නේ අපේ මොලේ කුරුවල් වන ආකාරයටය. අවුරුදු උත්සවය පැවැත්වෙන වෙලාවේ ඒ අක්කියා පාරේ එහාට යනවාය..තව ටිකකින් ආයෙත් මෙහාට යනවාය...ආයෙත් කෙල්ලෙක් එක්ක කයියක් ගහගෙන එහාට යනවාය.(අම්මටසිරි..ඒ පාර වෙනම කිටක් ගහගෙනය) ආයෙත් ටික වේලාවකින් මෙහාට එනවාය.නිකම් පැෂන් ෂෝ එකක් වාගේය.මං හිතන්නේ දවසටම ඇදුම් 5ක් වත් යූස් කරන්න ඇත්තේය.අපේ උන්ට දැන්නම් අවුරුදු වගේය...

ඔන්න හවස අවුරුදු කුමරිය තේරීමේ තරගයය.ඒකි ‍තොරන්නත් ආවේ දේසපා ලියකි.කස්ටිය නම් එයාට කියන්නේ බබා කියලාය.බබා වගේ හිටියාට කරපුවා ගැනනම් එකඑක කතා තියෙනවාය.(අනේ අපිට නම් ඒවා ගැන කිසිම අමාරුවක් නැත්තේය) සමහර කොල්ලන්ට නම් සිහියක් පතක් නැත්තේය,කෙල බේරෙනවාය.. ඔන්න ටිකකින් අර කලින් කියපු සූකිරි අක්කියා තවත් නංගියෙක් සමග එතනට ආවාය.ආහ් එයාගේ අම්මාද කොහෙදත් ආවාය.දැන් ඇන්ටි බබාත් එක්ක මොන මොනවාදෝ හෙනට කතාවය..මෙලෝ දෙයක් අපට නම් ඇසෙන්නේ නැත.ඒ අතරේ අපේ එකෙක් කතාවට ගැනපෙන පරිදි එම කතාබහට හඩ කවනවාය..

අනේ බබා..මේ ඉන්නේ අපේ දුව(ඇන්ටි දුව පෙන්නයි)
ඔව් අනේ..එයාත් ආසයිලු ඔයා වගේ වෙන්න.දැක්කනේ දැනුත් **ව වගේ ඉන්න හැටි
හ්ම්..ඒකනම් දන්නේ නෑ..කඩා*** දන්නෙත් නෑ.විශ්වාස කරන්න පුලුවන්ද මුන්ව. මං ‍වගේම ඇතිනේ..

අපිට ***ත් හිනාය.මේ විදියට මේ සැරේ අවුරුදු උත්සවේත් ආතල්පිට නිමාවිය.

ප.ලි.- අනේ කාටවත් අපහාස කිරීමට මගේ තුන්හිතකවත් අදහසක් නැත.අහිංසක විහිලුවක් කරා පමණි.

Monday, April 20, 2015

නිදි දෙව්දුවට ආදරයෙන්...




දන්නවද..ඉස්සර මං ඔයා ගැන දන්නෙවත් නෑ.දැනගන්න ඕනකමක් තිබුනෙත් නෑ.මොකද මට ඔයා ගැන හොයලා බලන්න,හිතන්න තරම් කාලයක් තිබුනෙ නැතිනිසා. සතුටින් කියලා කියන්නම බැරි උනාට මට දවස ගතකරන්න ගොඩාක් වැඩ තිබුනා.උදේම නැගිටලා ඉස්කෝලේ ගිහින් යාලුවොත් එක්ක පිස්සු කෙලින්න ගියාම වෙලාව ගතවෙනවා තේරෙන්නේවත් නෑ.ගෙදර ඇවිත් කාලා බීලා නාලා එහෙම ඉවර උනාම ටීවී බලල නිදාගන්නවා.ඒක තමයි ඒ කාලේ මගෙ සරලම කාලසටහන උනේ.

පස‍්සේ කාලෙක තමයි දැනගත්තේ ඔයා ඇත්තටම ඉන්නවා කියලා.හේතුව උනේ,ඔයා විතරක් හිටපු මගේ හිත වෙන කවුදෝ හොරකම් කලාට පස්සේ.ඒත් ඒක මට වැඩිය ගානක් උනේ නැත්තේ ඔයා නැතුව හිටියත් මගේ හිත තිබුනේ සෑහෙන ඈතක නිසා..මං හිටියේ සුන්දර මතකයන් ගොඩක සහ මනහ්කල්පිත ලොකවල නිසා.තනියම හිනාවෙවී ඒවා බලනකොට ටයිම් පාස්කරන එක දෙයක් නෙමෙයි.

පස්සේ පස්සේ මං ඔයාට කෙනෙහිලිකම් කරන කාලයක් ආවා.මං ඔයාට විරුද්ධව වැඩකලා.ඔයාව බලෙන් එලවලා දැම්මා.ඒ මොකටවත් නෙමෙයි,පාඩම් කරන්න.මතකද ඉස්සර මං ඉස්කෝලේ ගිහින් ඇවිත් මහ දවල් 2ට විතර බලෙන් නිදාගන්නවා.(ඒකට ක්‍රමයක් තියෙනවා) ඊට පස්සේ රෑ 8ට විතර ඇහැරිලා වැඩ කරන්න ගන්නවා.ආ‍යෙත් ඔයාට මං ලගට එන්න දෙන්නේ පාන්දර 3ත් පහුවෙලා.රේඩියෝ එකත් දාගෙන ඔයාට විරුද්ධව සෑහෙන්න මහන්සි උනාම මට මාර සතුටක් දැනෙනවා.මං හිතුවා ඒක තමයි ජීවිතේ කියලා.කොහොම උනත් සෑහෙන්න සතුටකින් හිටියේ මං ඒ කාලේ.ඊටත් කලින් කාලයක් මං පාන්දර 2ට විතර ඇහැරලා නිදිමත යන්න මූණ හොදගෙන(සමහර වෙලාවට බාත්රූම් එකේම නින්ද ගිය වෙලාවලුත් තියෙනවා) උදේ පාන්දර ඉදන් ඔයාව එලවන්න හැදුවා.

මට මේ අත්විදින්න වෙලා තියෙන්නේ ඒකේ ඵලවිපාකද? දන්නවද..අවුරුද්දක ඉදන් මං ඔයාව හොයනවා.හැමදාම පාන්දර 3 විතර වෙනකම් ඔයා එනකම් බලන් ඉන්නවා මං,කරන්න  කිසිම දෙයක් නැතිව..දන්නවද, මං කාලයක් ඒකට හොද විසදුමක් හොයාගත්තා.ඒකාලේ රාත්‍රිය සුන්දරයි කියලා හිතං හිටියට ඊටපස්සේ මං අකමැතිම කාලය උනේ රාත්‍රිය.ඉතින් මං ගියා වැඩකරන්න,මහ රෑ.. 

හවස 6 ශිෆ්ට් එකට ඇතුගට ගිය වෙලේ ඉදන් සීතලේ ගැහි ගැහි ‍ඩීෆීසර් සුද්ද කරන්නයි,අයිස් පැක් කරන්නයි,ඉතිරි සුන්බුන් අයිස් බකට් පිටින් උස්සන් විසිකරන්නයි තමයි මට සිද්ධඋනේ.මං කරපු දේ කාටවත්ම දැනගන්න ඉඩක් තිබ්බේ නෑ මං.මේ ගැන දැනගෙන හිටපු අයට හිටියේ මගේ හොදම යාලුවෝ දෙන්නෙක් විතරයි.මං මොනවා කරන්නද රත්තරන්? ඒ වෙලාවේ මට කරන්න තිබුන හොදම දේ උනේ ඒක.විවිධ‍ හේතු මත පස්සේ කාලෙක එතනින් ඉවත් උනත් ඒත් ඔයාට මං ගැන කිසිම අනුකම්පාවක් තිබුනේ නෑ.මං ඒකෙන් හොදටම දුක් වින්දා.තාමත් එහෙමමයි!

මට බෑ සටන අතහරින්න..ඔයා මං ලගට එනකං මං බලාගෙන ඉන්නවා.බැරිම උනොත් ආයෙත්පරණ ක්‍රමේම අනුගමනය කරන්න වෙයි...

Saturday, April 18, 2015

අප්‍රේල් 18 (#Black_April)




අලුත් අවුරුද්ද පහුවෙලා දවස් කීපයයි.අවුරුදු උණුසුමේම අපේ නෑදෑ අයියා කෙනෙක්ට ඩෙංගු හැදිලා ඉස්පිරිතාලේ.ශිෆ්ට් ක්‍රමේට එයා ලග ඉන්න මල්ලිලා ටික සෙට්උනා.එදා මගෙ දවස.උදේ පාන්දරම ඉස්පිරිතලෙට ගිහින් වැඩ බාරගත්තා.පැයෙන් පැයට මුත්‍රා ප්‍රමාණය මනින්නයි.ටෙස්ට් කරන්න සාම්පල් අරගෙන ලැබ් එකට දුවන්නයි,ආයෙත් රිපෝට් ගේන්නයි වැඩ ගොඩයි..මේ විදියටම උදේවරුව ගතවුනා..එකපාරටම ඔයාගෙන් මැසේජ් එකක්.
මගේ ෆොටෝ එකක් එෆ්බී දැම්මා..බලන්න..

මට ඔයාගෙ ෆොටෝ එකක් දෙනවද? ඔයාට මාව මීට් වෙන්න එන්නත් බැරි එකේ මට බලබලවත් ඉන්න‍‍...
ම්..හා...ඒත් ඉන්න මං ලස්සන ෆොටෝ එකක් ගන්නකම්.බැරිවෙලාවත් ඔයාගේ යාලුවෙක්වත් ඒක දැක්කොත් මං ලස්සනට ඉන්න එපැයි.මේ ඉන්නේ මගේ ලස්සන කෙල්ල කියලා ඔයාට කියන්න පුලුවන්නේ එතකොට...
මං ඒ දවස වෙනකම් බලාගෙන හිටියා.මගෙ රත්තරන් කෙල්ලගෙ සුදු මූණ බලාගන්න..ඒත්..අවාසනාවට..ඒ දවස කවදාවත්ම උදාඋනේ නෑ.
තාම ලස්සන ෆොටෝ එකක් ගන්න බැරිඋනා අනේ...
හැමදාම ඔයාගේ උත්තරේ උනේ ඒක.
ඔයා කොච්චර කැතට ෆොටෝ එකට හිටියත් මට ඔයාව ලස්සනයි.මට ඔයා‍ව දකින්නේ නැතිව ඉන්න බෑ...
කටින් නොකිව්වට හැමදාම මගේ හිත කිව්වේ ඒක.

ඔයාට පිස්සුද?මේ වෙලාවේ මට නෙට් යන්න විදියක් නෑ.ඉක්මනට ඕක අයින් කරන්න..
අවුරුදු ගානක් බුකියේ රස්තියාදු ගහලා පුරුදු මම දන්නවා කෙල්ලෙග්ගේ ෆොටෝ එකක් බුකියෙ දැම්මොත් මොකද වෙන්නේ කියලා.ඒත් එක්කම මට ලොකූ ප්‍රශ්නයක් ආවා.මං ඉල්ලුවම කවදාවත් මට එවපු නැති ෆොටෝ එකක් හදිසියෙම මොකද අප්ලෝඩ් කරල තියෙන්නේ කියලා.මට මාරම අප්සෙට්.ඔය විදියට යන්තම් 6 වෙනකම් ඉදලා ශිෆ්ට් එක තව එකෙකුට බාරදීලා මං රාගම ඉදලා ගෙදර ආවා..ගෙදර ආවට ගෙදරත් මට ඔන්ලයින් යන්න මැෂිමක්වත් තිබුනේ නෑ ඒ දවස්වල‍.
රෑ 8ට 9ට විතර,යාලුවෙක්ගෙ ගෙදර ගිහින් උගේ ගැලැක්සිය ඉල්ලගෙන ඇවිත්,බුකියට ලොග් උනා.ඔයාගෙ පාස්වඩ් එකත් මට ලග තිබුන නිසා මං ලොග් උනේ ඔයාගේ අකවුන්ට් එකට..ලස්සන ෆොටෝ එකක් දාලා තිබුනා තමයි.මං සැකේට වගේ ඔයාගේ ඉන්බොක්ස් එකට රිංගුවා.

තව ටිකක් ඉන්නකෝ...මට පාලුයිනේ ඔයා නැතිව...
මට නිදිමතයි අනේ...මං නිදාගන්නවා
වෙනදට රෑ 12,1 වෙනකම් මාත් එක්ක කියවන කෙනාට ලගදි ඉදන් මාර නිදිමතක් හැදිලා..මට ඒකට සෑහෙන්න තරහ ගියා තමයි.මං ඔයාට බැනලත් තියෙනවා.ඒත් පස්සේ මට හිතෙනවා පව්,මේ කෙල්ලට මහන්සිත් ඇතිනේ...කියලා....

කව්ද මේ කොල්ලා...
කවුද???
.......... *$@!%$@!%*..............
මං දන්නේ නෑ...
මට ඇත්ත කියනවා......
ආහ්..එයා මේ යාලුවෙක්...
මට මැසේජ් ටික බැලුවම යකා වැහුණා.ඒත් ඒක කමක් නෑ කියමු.කොල්ලෝ උනාම එහෙම තමයි.අනික කෙල්ලෙක් ටෝක් කරන එක වැරැද්දක්ද?ඒත් මං දැක්කා ඒකෙ වෙනසක්.චැට් කරපු වෙලාව හැමදාම මහ රෑ 11,12,1,....හැමදාම මහන්සි නිසා කලින් නිදාගත්ත කෙල්ලද මේ???



ලියතඹරා මල ඔබද ලදේ
මා වසගයක් කෙරූ
විෂ බදුනක් ගෙන මදුවිතය කියා
මා ගත සනසාලූ...

අවිහංසක දෑසේ කදුලැල් දැක
මා ගැනවත් නොසිතා
මිතුරන් කීවත් නාසා ඔබ ගැන
සහසක් පැතුම් පතා
පුදදුන් සෙනෙහස එතනම මියැදී
මා වූවාද මුලා...

කෙනෙක් ඇසුරුකර තවකෙක් පතනා

ඔබ යයි මගක මුලා
සුපිපුන හදමල් මෙලෙසින් සිදබිද
යන්නේ ඇයිද පෙලා
මෙතුවක් බැදි සෙනෙහස මාගේ
ඔබ වෙතට දෙමි සමා...