Thursday, March 14, 2019

කළු වෙළඹ | Black Beauty



තවත් වැහිබර හැන්දෑවක්! කාලෙකට පස්සෙ වැටෙන ධාරාණිපාත වැහි බිංදු වලින් පරිසරය කුල්මත් කරද්දි වහලෙට කඩාන වැටෙන වැස්සෙ සද්දෙන්  ඔෆිස් කාමරේ පිරිලා යද්දි මාත් සිව්මහල් ගොඩනැගිල්ලෙ ඉහලම මාලයෙ තිබුන මගේ ඔෆිස් එකෙන් එළියට ගිහින් කොරිඩෝවට වෙලා ඈත වැස්ස කඩාපාත් වෙන හැටි බලාන හිටියා. මං වැස්සට ආදරේ කරන්න අටෝරාසියක් හේතු තියෙනව. ඒත් ඒ අතරින් සමහරක් හරිම ප්‍රබලයි. නිස්කාන්සුවෙ වැස්සකට අහු උනාම මගේ මතකය ඉඩක් හම්බෙන හැම වෙලාවකම දුවන එක තැනක් තියෙනවා. ඒ සියඹලා ගහ. ඔව්, අර කීපදෙනෙක්ටවත් බදන්න බැරි ඒ සියඹලා ගහ. එතැන වෙච්ච සිදුවීම් පෙල සිනමා පටයක් වගේ මට මැවි මැවී පේනවා. ඔයාගෙ මතකයන්ගෙන් මං ආසම කරන මතකයන් දෙකෙන් එකක් තමයි ඒක. ඒ හීනි අතැගිලි හරි හරියට අල්ලගෙන ලෝකයක් දිනුවා වගේ සතුටු වෙච්ච වෙලාව. අනිත් එක? අවුරුදු ගානකට පස්සෙ හම්බුනාම, ඔයාගෙ පන්තිකාමරේදි දුවගෙන ඇවිත් මාව බදාගත්ත වෙලාව. හැමදේම අමතක කරලා හිත පුරෝගන්න ඒ හේතු දෙක හොදටෝම ඇති මට. ඔව්, මං වැස්සට ඒ තරම් කැමති ඒ වැහි පොද ඔයාව ආයෙ ආයෙමත් මං ලගට ගේන එකට. වැඩ රාජකාරි එක්ක වෙහෙසිලා ගෙවෙන හෙම්බත් ජීවිතේට "ටොකොස් ටොකොස් ගාලා පැනගෙන කළු වෙළඹක් එනව වගේ" මොහොතකට හිනාවක් දෙන එකට...

එදා වාගේ අදත් පොද වැස්ස වැටෙනවා
මල් පිපුණු ගහ ගාව තවම ඉඩ තියනවා
නුඹ මගේ ලඟින් නැති අඩුව මට දැනෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

මෙච්චර කාලයක් ගතවුනත් මට අපිට කරන්න බැරිවුන එකම එක දෙයක් ගැන මං තාම හිතනවා. ඒ වෙච්ච දේවල් ගැන ආයෙමත් සැරයක් කතා කරන්න. එහෙම වෙන්න හේතුවුන මානසික තත්වය ගැන කතාබහ කරන්න, ආවේගය ගැන කතා කරන්න. ඒක බලපාපු සීමාව ගැන හොයන්න. ඊටපස්සෙ ගිය පාරවල් ගැන කතාකරන්න. සම්මතය අසම්මතය ගැන පාපෝච්චාරණය කරන්න. සාර්ථකත්වය ගැන කතා කරන්න. ඔව්, උඹ දන්නවද? කොච්චරක් නම් දේවල් තියෙනවද අපිට කතා කරන්න. ඒක අපිට හිනාවක් ගෙන දෙන එකක් නෑ කියලා කාටද කියන්න පුලුවන්?  ම්.. අතීතකාමය අවුස්සන අතරේ ටේස්ට් එකට මං ගානෙ කඩල ගොට්ටක් දෙන්නද ?

දුක පිරුණු මගේ හිත නුඹ හොදට දන්නවා
හිත හදපු නුඹේ හඬ මගෙ සවන් සොයනවා
නුඹ නිසා පැමිණි දුක් පැණි රසයි සිතෙනවා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා

හැමදෙයක්ම වෙන්නෙ හොදටලු. මං දන්නෙ නෑ ඇයි ඒක එහෙම කියන්නෙ කියලා. ඒත් මං එක දෙයක් දන්නවා. මේ  වෙනකං වෙච්ච හැම දේකින්ම තවත් අලුත් පැත්තක් මට පේන්න ගත්තා. එක දොරක් වැහෙද්දි තව දොරක් ඇරෙන්න ගත්තා. ඒත් අන්තිමට ඒ හැමදේම ලබාගෙන යද්දි ආයෙ ආයෙමත් මාව පරණ පාරටම වැටිලාද? හැබැයි ඉස්සරට වඩා ගොඩක් අත්දැකීම් එක්ක, තුවාල කැලැල් එක්ක. පරිණත ගතියකුත් එක්ක. මම දන්නෙ නෑ මේක මොන මොන විදියට ඉස්සරහට  යයිද කියලා. ඇත්තටම මට බයකුත් නැත්තෙ නෑ. ඒත්... එකම එක දෙයක් මං දන්නවා. ගතවෙච්ච හැම තත්පරයකම මං ඒ අමාවක සද වෙනුවෙන් බලාන හිටියා කියන එක. ඒක කවදාහරි පුරහදක් වෙලා ආයෙමත් පායාවි කියලා. 

අනාගත වාලුකා කතර මැද තනිවෙලා
කෙසේ පා ඔසවමිද සා පවස විද දරා
පුර පසෙක නොවී නුඹ අව පසෙක සඳ වුනා
මම තවම මට අහිමි මගෙ කවිය ලියනවා...


Sunday, March 10, 2019

අනූට පිළිතුරක්! | Answer for Anu



දැරුවත් යත්න
හදුනාදෙන්නට නුඹට
රිදෙන බව මට
වැරදි බව නුඹ
ඉනි මිටක් විය එය
ගගට කැපූ
ඒදා ‌‌මෙන් අදත්
සිදවූයේ 
ඒකම ‌දෙයකි
පිළිගත්තා පමණකි
අවසන
වැරදි බව නුඹ
නමුදු, ඒදත් අදත්
නොදැරුවත් යත්න
ගන්නට හරිමගට
කරන්නට කැපකිරීමක්
බැරිම තැන
තවත් වදවෙන්නේ කුමට
කැපකිරීමක් ‌නොමැති
අකුරකට පමණක් සීමා වූ
නුඹේ හිස්
ආදරයට...


Wednesday, February 6, 2019

පත්වීම | An Appointment


වෙලාව දවල් දෙකත් පහුවෙලා. කර්කෂ අව්ව මැද්දෙ චූටි රෝස පාට කුඩෙත් ඉහලගෙන ශානි වැව පාර දිගේ හනි හනිකට ඇවිදගෙන ඇවිත් ⁣සේන මාමාලගෙ කඩුල්ල පැන්නෙ රටක් රාජ්ජයක් දිනුවා වගේ හැගීමකින්. ඉක්මන්ටම කාමරේ දොර ඇරගෙන ඇතුලට ආපු කෙල්ල බෑග් එකත් විසි කරගෙනම ඇදට පැන්නේ හරිම මහන්සියෙන්. ඉස්කෝලෙට චූටි ටීචර් කෙනෙක් උනාට මොකද කෙල්ල තාමත් පොඩි එකෙක් වගේ. දාඩිය, දූවිලි පිරුණු සාරිය ඇදන්ම ඇදට පැන්න ශානිගෙ චූටි කකුල් කකියන්න පටන් ගත්තා හොදටෝම. හැමදාම කිලෝමීටරයක් විතර දුරක්  වාහන යන්නැති පාරේ පයින් යන එන එකත් ලේසි පාසු වැඩක් නෙමෙයි නේද, කෙල්ලට ඒකෙ බරපතලකම දැනුනෙත් වැඩට යන්න එන්න ගත්තම...

මේක ශානිගෙ අලුත්ම රස්සාව. රස්සාව කිව්වට ඒක ඊටත් වැඩි දෙයක්. එයා පොඩි කිලෙ ඉදලම හීන මැව්වා ගුරුවරියක් වෙන්න. චුට්ටිම චුට්ටි කාලෙ අම්මගෙ සාරියක් පටලෝගෙන කෝටු කෑල්ලක් අරන් මෙලෝ දෙයක් තේරෙන්නැති නංගියටයි, කිසිම දෙයක් අහන්නැති දඩබ්බර මල්ලියාටයි මොන මොනවාදෝ උගන්නන්න හදපු හැටි මතක් වෙලා ශානිගෙ මූණට ලැජ්ජාවකුත් ආවා, හීන් හිනාවකුත් එක්ක. ඒත් ඉගෙනගෙන ඉවරවෙලා තමන්ගෙ මුල්ම පත්වීම විදියට හේනානිගල ඉස්කෝලෙට එන දවසෙ දැනුන තරම් සතුටක් එයාගෙ ජීවිතේ කවදාවත් තියෙන්න නැතුව ඇති. ඇයි පත්වීම් ලිපිය ගෙදරට ලැබුන දවස. අම්මයි,තාත්තයි,මල්ලියි, නංගියි එක්ක සතුට සමරන්න පොඩි රයිස් පාටියක් දාන්නත් එයා අමතක කලේ නෑ. එදා දවස පුරාම අම්මගෙ මූණෙ තිබ්බ සතුටු කදුලු, ඒවා මතක් වෙද්දිත් මහන්සිය කොහේ ගියාද නෑ...

ඇදෙන් නැගිටපු ශානි පුටුවෙ වාඩි වෙලා ජනෙල් කූරු අතරින් ඈත වැව දිහා බලාන ඉන්න පටන් ගත්තා. සීතල හුලගට හෙලවෙන කුඹුක් ගහයි වැවයි ඇහැට ගෙනාවේ හිත පුරෝලා යන තරම් ලස්සනක්. ඒ ටිකට හිත ආයෙමත් දුර යන්න පටන් අරන්. මේ මුරණ්ඩු හිතට එක තැනක ඉන්නට බැරි හැටියක්. උදේ පාන්දර සාරිය ඇදලා සුවද ගගහා පොඩිවුන් ලගට යනකොටම චූටි කෙල්ලො ටික ආදරෙන් තමන්ව පිළිගන්න දුවගෙන එන හැටි. සාරි පොටෙන් එල්ලි එල්ලි තමන්ට දවස පුරාම ආදරෙන් වද දෙන හැටි. නාහෙට අහන්නැති දඩබ්බර කොලු ගැටව් තමන් උගන්නද්දි තේරුණා වගේ සද්ද නැතිව පන්තියෙ ඉන්න හැටි. මේවා මතක් කරද්දි කෙල්ලට හොදටෝම හිනා. කොහොමහරි මහන්සිවෙලා ඉගෙනගෙන පොඩි කාලෙ හීනෙ හැබෑකරගන්න ලැබුනා කියලා දැනෙද්දි නම් මොන තරම් දුකක් පාලුවක් දැනුනත් ඊට වඩා ලොකු සතුටකින් ශානිගෙ හිත පිරීලා ගියා...