ඒ් තමයි මට ඈ ගැන තියෙන ආදරණීයම මතකය... ඔව්, ඒක හරිම ලස්සන කතාවක්!
එදා වැසි දවසක්! නෑ.. වැසි දවසකුත් නෙමෙයි, හොදට ඉර පායලා තිබිලා ඈ එනකොටම පොඩි මන්දාරම් වැස්සක් කඩාපාත්වුනා. හරියට මල් වැස්සකින් අපිට ආශිර්වාද කරන්න වගේ. ඒ් මං ඈව පියවි ඇහැට දැක්ක පලවෙනි මොහොත. ඈත තියාම මාව දැකලා ඇගේ ඇස් වලින් චූටි හිනාවක් දාපු ඈ හිමිහිට හිමිහිට මං ලගට ආවා...
මං මගෙ ලග තිබුනු එකම ජැකට්ටුව ඈට දුන්නා. මට ඕන උනේ නෑ ඈව අසනීප කරන්න.
"ලොකු වැඩී වගේද?" ඈට හෙල්මට් එක දාන ගමන් මං ඇහුවා.
"හ්ම් ටිකක්.. අනිත් දවසෙ පොඩි එකක් ගෙන්න.. බබාලට දාන එකක්!" ඈ හුරතල් වෙවී කියෙව්වා.
මට සෑහෙන්න මහන්සි වෙන්න උනා හෙල්මට් එකේ පටිය කොට කරන්න. මං ඒ්ක කරලා ඉවර වෙනකං ඈ මං දිහා බලාන හිටියා.
"දැන්නං ගගණගාමියෙක් වගේ!" මං ඈට කියලා හිනාවුනා.
අපි කිසිම තේරුමක් නැතිව පාරවල් දිගේ හිමීට ඔබමොබ සැරිසැරුවා. තේරුමක් නැතිවමත් නෙමෙයි, මට ඕන කලේ ඈත් එක්ක කාලය ගතකරන්න. ඇගේ මූණට හිනාවක් ගේන්න. ඈව සතුටින් තියන්න...
"දැන් හිමින් යන්න.." ඈ එකපාරටම එහෙම කිව්වා.
"තව හිමින්?"
"හ්ම්.. නැත්තං ඉක්මනටම යැවෙනවනෙ.."
ඈව පරිස්සමට බස් හෝල්ට් එකට දාපු මම තවත් පැයක් විතර ඈ එක්ක ඉදලා යන්න සූදානම් උනා.
"පරිස්සමින් යන්න..."
ඈ මූණ ඇද කලා..
"අයියා.."
"ම්..."
"ඔයාට පුලුවන්ද මං ගැනත් ලියන්න?" ඈ ඇගේ සුපුරුදු හුරතල් හඩින් මගෙන් ඇහුවා.
"ලියන්න? මට පුලුවන් ඔයා ගැන පිටුවක් නෙමෙයි, පොතක් වුනත් ලියන්න.."
මං ඒක කිව්වෙ නෑ. ඇගේ දිලිහෙන ඇස් දිහා බලාගෙන හිනාවුනා විතරයි.