meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/> මලියගෙ සටහන මලියගෙ සටහන: මේ නිශාන්තයේ... | Moment of a Nightmare

Saturday, August 25, 2018

මේ නිශාන්තයේ... | Moment of a Nightmare



වෙලාව හැන්දෑවේ 7ත් පහුවෙලා. වෙනදා වගේම මං එයා එනකං බලාන ඉන්නවා. නෑ.. එයා එනකං මං තවත් බලාන ඉන්නෙ නෑ. ඒ කියන්නෙ තරහකටවත් වෙන මොකක් නිසාවත් නෙමෙයි. එයා දැන් කොහෙ ඉදීවිද, මොනව කරනවද, පරිස්සමින් ද කියලා හොයලා බලලම එයාට ඒක ඇති වෙලා. බාගදා එයාට ඒක කරදරයකුත් වෙන්න ඇති. අඩුගානෙ මං දැන් එන ගමන් ඉන්නෙ, බය නොවී ඉන්න කියලා චූටිම චූටි ටෙක්ස්ට් මැසේජ් එකක්වත් දාන්න එයාට ගානක් නැතිවෙනකොට මං මොනව කියලා කරන්නද... මට තියෙන එකම විශ්වාසය කොයිම වෙලාවක හරි මොන අපායක ඉදන් හරි එයා ඒවි කියන එක. අඩුගානෙ එතකොටවත් මට සැනසිල්ලෙ නිදාගන්න පුලුවන්, විකල්ප වලට යන්නෙ නැතිව.
සදුද අවදියෙන්
තරුද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ළග නැති තව

දිනක් ගෙවී යයි
තනිවුන වසන්තයේ...

😓

දන්නවද දෙයක්, බදින්න ඉස්සර මං හිතාන හිටියෙ මං රෝමියෝ කියලා. කීපදෙනෙක් එහෙම නොකිව්වත් නෙමෙයි ඒ කාලෙ නං. මං දැනගෙන හිටපු එකම දේ නොසෑහෙන්න ආදරේ කරන්න, පරිස්සම් කරන්න, ආදරෙන් බලාගන්න, හොදට සලකන්න... බැදපු මුල් දවස්වල මං හැමතිස්සෙම එයා ගැන හොයලා බැලුවා. චුට්ටක් හරි පරක්කු වුනොත් කරදරයක්වත්ද කියලා හිත කලබල වුනා. එයත් මොන දේ කලත් මට කිව්වා, අඩුගානෙ යාලුවෙක්ගෙන් හරි ෆෝන් එකක් ඉල්ලගෙන. ඉතිං මං මාරම සතුටකින් හිටියෙ. මං හිතුවෙ මට මගෙ ජීවිතේම එයා වුනා වගේම එයාටත් එහෙම ඇති කියලා. මට දැනුනා එහෙම, ඒක මායාවක්ද කියලා දන්නෙ නම් නෑ. ඒත් ඒක එහෙමයි.

පස්සෙ පස්සෙ මං ඒක තේරුම් ගත්තා. නිකං බොරුවට කෑ ගහලා වැඩක් නැති විත්තිය. ඇගෙන් මොකුත්ම බලාපොරොත්තු නොවී ඇගෙ හිත පිරෙන්නම සෙනෙහස පුරවන්න ඔන විත්තිය. ඇය පිරෙන මොහොතක් ගානේ මාත් පිරෙන විත්තිය. ඉතිං මං ඈට නිදහස දුන්නා. ඒක අසීමිත නිදහසක්. එයා සතුටින් ඉගිලිලා ගියා කූඩුවෙන්.. ඇත්ත, ඈව පරිස්සම් කරන්න ඔන බව ඇත්ත. ඒත්, එහෙමයි කියලා ඒ මූණ දුකින් ඉන්නවට මං පොඩ්ඩක්වත් කැමති නෑ. වෙන දෙයක් වේවි. මං පට්ටම සතුටකින් ඉදීවි කියන්නත් අමාරුයි. ඒත්, ඈ සතුටින් නම් තව මොනවද? එහෙම හිතපු මං මීවිත ඩිංගක් තොල ගෑවේ ඇගේ මතකයට ගුලිවෙමින්...

සීතල ඇතිරුනි
මිහිරිය ලය මත
කොද කෙමි පිපිරුණි
මධු පුරවා...
උණූසුම දිසුනේ

නෑ නෙතු මානෙක 
ඔබ ළග නැතිවම
අද මා තනිවම...

අන්තිමට රෑ 8ට විතර කඩාගෙන බිදගෙන ඈ ආවා. මං එයා දිහා සද්ද නැතිව බලාන හිටියා. "බස් නෑ අප්පා, එපා වුනා" එහෙම කියාගෙන මූණවත් නොබලාම එයා ගියේ කාමරේට. එතනත් පැයක් විතර එයා වොෂ් දානකං මං කඩෙන් ගෙනාපු කෑම එක පිගානකට දාලා තවත් පිගානකින් වැහුවෙ අසරණී තවත් දුක් විදිනවට  කැමති වුනේ නැති නිසාමයි. ආයෙත් මීවිත තොලගාන අතරවාරේ එයා දුහුල් ඇදුමක් ඇදගෙන කෑම කන්න ආවෙ නාහේ කඩාගෙන යන එයාටම ආවේණික වෙච්ච සුවදත් අරගෙනමයි. මං වීදුරුව පැත්තකින් තියලා ඈ දිහාම බලාන හිටියා. ඈ හොරෙන්ම මාත් එක්ක හිනාවුනා. ඔව්, අෑ සතුටින්. ඉතිං තව මොනවද?

පහන් නොදැල්වෙන
ඔබේ පැල්පත තුල
නිදිමත අඩ නෙතුපිය සනහා...
මගේම කදුලක් වී පිණිබිදු ලෙස
ඔබේ කවුළුව ළග පිපි මල් පෙති මත....

මුල් කාලෙ නම් මං බලාන  හිටියේ කාලා ඉවර වුන ගමන්ම ඈව තුරුලට ගන්න. ඒත් දැන් කාපු ගමන්ම ඈ ෆෝන් එක තුරුල් කරගන්නවා, යාලුවො එක්ක කතා කරන්න. මං තවත් වීදුරුවක් හිස් කරනව. පව්, එයාට ගොඩක් දේවල් ඇති කතාකරන්න යාලුවො එක්ක. ඉතිං මං ආයෙමත් වීදුරුවක් හිස් කරන්න ගන්නවා. තව ටිකකින් ඈට පුටුවෙම නින්ද ගිහින්. පව් කෙල්ල, මං එයාව උස්සගෙන ගිහින් ඇදින් තියලා මාත් ගෙදර හැමතැනම විදුලිය විසන්දි කරලා ඇදට යනව. බුදු පහනෙ තැඹිලි එළිය ලාවට දිලිහෙනව. මට නින්ද යන්නෙනෑ. හිත ඇතුලෙ වචන දාහක් හොල්මන් කරනවා එලියට දාපං දාපං කියකිය. මොනව කරන්නද, කියන්න කෙනෙක් නැතිවට. මං ආයෙමත් ඈ දිහා හිනාවෙලා බලනව. ඔන්න එතකොට මගෙ කෙල්ල මතුවෙන්න ගන්නවා. හීනෙන් හිනාවෙනව මාත් එක්ක. මොන මොනවද හුරතලෙන් කියවනවා. අත දාලා මාව බදාගන්නව. ඒත් හීනෙන්. මොනව උනත් ඒ තමයි මං කැමතිම වෙලාව. එයාට වෙලාව නැති වුනාට හීනෙන් හරි මාත් එක්ක ඉන්නවා. මං ඉතිං ඒකට හැමදාම අාදරේ කරනව... එච්චරයි!

6 comments:

  1. තෝ මේ කාගෙ කතාවක්ද සැරිින් සැැරේ කියන්න හදන්නෙ

    ReplyDelete
  2. පට්ට ....

    මේක ඇත්ත සිදුවීමක් පදනම් කරගෙන ලියූ දෙයක් නම් ඒක හරියටම හරි . ගොඩක් යුරෝපීයයන් ගේ පවුල් ජීවිත මෙන්න මේවගේ . හිතවතුන්ගේ කියන කථා වලින් අපේ ලංකාවත් සීග්‍රයෙන් ඒ පැත්තට ඇදිලා යනවා කියල මට හිතෙනවා.

    අවසානය දෙදෙනාම open-minded වෙනවා කියන එක .

    ReplyDelete