Monday, November 13, 2017

ප්‍රේමය නම්



ඒ සිකුරාදා දවසක්. තවත් සති අන්තයක ආරම්භයක්.සති අන්ත නිවාඩුව වෙනදා වගේම නිදහසේ ගත කරන්න හිතාන ඉක්මන්ටම ගමරට බලා යන්න බස් එකට ගොඩ උන මං ජනේල අයිනේ සීට් එක අල්ලගෙන එතනින් ඈදිගත්තා. හීනියට කඩං හැලෙන මහ වැස්ස කපාගෙන හූ හඩ දීගෙන යන බස් එකෙන් මට දැනුනා මාරම නිදහස් ගතියක්.ඒ වේගෙට මං ආදරේ කලා.පාරෙ තියෙන වාහන පහුකරගෙන යනහැටි කඩපේලි ඇසුරු සැනින් වීසිවෙන හැටි මං ආසාවෙන් බලාන හිටිය. මං ඒ අත්දැකීම වින්දේ සෑහෙන කාලෙකින්. ඩිස්ප්ලේ එක දිහා බලාන ඇස් ටොම්බ සයිස් කරන් ගෙවන ජීවිතේට මං වෛර කලා.

ක්‍රී...ස්.. බස් එක ගහපු බ්‍රේක් පාරට ජනේලේ දිගේ ගලාන ආපු මලකඩ පාට වතුර බිංදු දෙකක් නහයට වැටුනා. අඩි සද්ද වලින් දැනුන හැටියට දෙතුන් දෙනෙක්ම පස්ස දොරින් බස්එකට නැග්ග කියලයි මට හිතුනෙ.පිටිපස්සෙ සීට් එකේ ඉදං සීට් අස්සෙන් ඉස්සරහට ආපු කුඩයක් සීතල වතුර බිංදුත් එක්ක ඉස්සරහ යකඩ බාර් එක අල්ලගත්තා.ඒ කුඩේ අයිති අතත් සීතල වෙලා තෙත් වෙලා තිබුනෙ.අයිතිකාරයා කවුරු උනත් ඒ මූණ දිහා නොබලා ඉන්න මං හිතාගත්තෙ ලොකුකමටවත්, කුතුහලයන් නොමැතිකම හින්දවත් නෙමෙයි. මට ඕන උනා ඒ ලස්සන නිදහසේ විදින්න.ඒකට මූණවත්, හමේ පාටවත්, අඩුම ගානෙ කාගෙවත් අවසරයක්වත් අදාල වෙන්නෙ නෑ කියල මං විශ්වාස කලා...

ප්‍රභාමත් වූ වත මඬළ ඇත
තවුස් දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ
භාවනාවක කාන්තියයි

තවත් සතියකට දෙකකට විතර පස්සෙ, එදත් සිකුරාදාවක්.හැබැයි හොදටම ප්ලෑන් කරපු සිකුරාදාවක්.ඒ වෙලාවටම, ඒ බස් එකේම, ඒ සීට් එකම,එකම නැවතුම... ඒ ඇගිලි තුඩු දිහා මං බලාගෙන හිටියෙ හරිම පෙරේතකමකින්.ඇගිලි එච්චර දිග වෙන්නෙ කොහොමද කියලයි මං කල්පනා කලේ.මං ඒවා අතගෑවේ හරිම ආසාවෙන්.ඒත් එක්කම මට දැනුනෙ හා හා පුරා කියල ගෑල්ලමයෙක්ගෙ ඇගිලි ගෑවුනාම වැදුන කරන්ට් එක.මං එතනින් අදහස් කරන්නෙ නෑ මේක මගෙ පළවෙනි අත්දැකීම කියලා, ඒත් ඒක අන්තිම එක වෙනවනං මං ගොඩක් කැමති උනා.ඒක හරිම ලස්සන අත්දැකීමක්.ඒ හැගීම එන්නෙ කිසිම රාගයක් ගෑවිලාවත් නැති උනාම.පොඩිම පොඩි වෙලාවකට නන්දා මාලිනිය කියපු දේ ඇත්තක් කියල මට දැනුනා.

ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි සුරම්‍යයි...

හැමදාමත් ඇගේ කිචිබිචිය අහන එක, රේඩියෝව අහන් ඉන්නවටත් වඩා පුරුද්දක් උනේ මටත් නොදැනිමයි. සද්ද නැතිව පාඩුවේ, පාලුවේ ඉන්න ජීවිතයකට අනිත් අයට එහෙම නොවුනත්, කචබචේ හරිම රොමෑන්තික කොටසක් උනා.හරියටම කියවනං ඇබ්බැහියක් උනා. වේලිච්ච මලකින් උනත් ගන්න බැරි තරම් මත්බවකින් ජීවිතේ වෙලාගත්තා.ඉතින් සිහිනයක් පමණක් බව දැනදැනත්, තව තවත් ඒ හීනෙම ගිලිලා ඉන්න මං ආස කළා.තවත් සිකුරාදාවක, පුරුදු විදිහටම බස් එක හූ හඩින් පාර පුරා යනව.ඈ ඔහේ කියවනවා.මං ආසාවෙන් ඒ දිහා බලාන ඉන්නවා.තවත් නැවතුමක, බස් එක නවතිනවා.කෙනෙක් බස් එකට නගිනවා.ආයෙමත් බස් එක අද්දනවා.හාලෝ.. කොහොමද? ආහ් මේ ඉන්නෙ ---. මේ දවස් ටිකේම හවසට යන්නේ මාත් එක්ක. ඉතිං, ඔයාලා දෙන්නා අදුරනවත් ඇතිනෙ.කතා කරගන්නකො!!!

දොඩන වදනින් ඇසෙයි නිරතුරු
වනන්තරයක සකුණ මියැසිය..
දෙතොල් අතරින් ගලා එන්නේ
ගීතිකාවක ශාන්තියයි...


Friday, September 29, 2017

තනිවෙන්නට මගේ ලොවේ


උඩ තට්ටුවෙ ස්ලැබ් එකට වෙලා පුටුවක නිදහසේ හාන්සි උන මම ගැඹුරු හුස්මක් ගන්නට වුනා.ඒකයි, දෙකයි, තුනයි, හතරයි, පහයි....ඒ් ආකාහෙ තරු වලින් පිරිලා.ගනං කරන්න බැරි තරමටම.මාස පහ හයකට පස්සෙ අතට ගත්ත දුම්වැටිය පෙනහලුවල පතුලටම වැදිලා ඔලුව කැරකෙන්න ගත්තම මට දැනුනෙ මාරම සතුටක්.මාස ගාණකට පස්සෙ ආයෙමත් දුමක් උරන්න හිතුනෙ ඇයි කියන එක මට තාමත් හිතාගන්න බෑ.මං ඒක හිතන එක පැත්තක දාලා ආයෙමත් ආකාහෙ දිහා බැලුවා.අදුරු පැහැ ගත්තු අහස පුරාම එක එක හැඩයන් මට මැවිලා පේන්න ගත්තා.මේ විදියට නිදහසේ ඉන්න ලැබුනේ හුගක් කාලෙකට පස්සේ.ඩිජිටල් ලෝකෙට හිරවෙලා පෝන් එකයි ඩෙස්ක්ටොප් එකයි අස්සේ ගතවෙන මේ ජීවිතේ මට අප්පිරියා වෙලා තිබුනෙ.හැබැයි මං සතුටින් හිටියේ.ජීවිතේ කවරදාටත් වඩා සතුටින්.

මං ආයෙත් පාරක් දුම ඉහලට ඇද්දා.පිටවෙච්ච දුං ගුලි නහයෙන් කටින් එලියට ගියේ මගෙ ආත්මය ගැටගහල තිබ්බ ලණු ගැට කඩාගෙන, මගෙ හිත  සැහැල්ලු කරමින්.මට ලොකු තනිකමක් දැනෙන්න ගත්තා.ඊටත් වඩා හිස් බවක්.මට ඕනෙ උනා තනිකම රහ කරන්න.ඒක විදින්න.හැමදාමත් ඒක නොවිදිනවා නෙමෙයි.ඒත් හදවතට දැනෙන විදියට, විරහව විදින්න.ඒක මාරම රහක්.වෙනදා වගේ නැතිව බුකිය අතඇරලා දාලා, මැසේන්ජරය බල්ලට දාලා, හෑන්ඩ් සෙට් එක විසිකරලා, චිත්‍රපටි මගඇරලා... ඈත පේන පිරිපහදුවෙන් එන දුම මිශ්‍ර  හුලගෙ හැප්පෙන්න.කඩා වැටෙන වල්ගා තරුවක් දිහා බලාගෙන විෂ් එකක් කරන්න.නිදහස් ගැඔුරු හුස්මක් ගන්න.මනෝ රාජධානියක සැරිසරන්න...ඊටත් වඩා සතුටක් කොයින්ද?

මට හිතුනා කෑ ගහල අඩන්න.හේතුවක් ඇතිවටම නෙමෙයි.ඒත් හැමදාම සතුටින් ඉන්න එකෙත් අමුත්තක් තියෙනව වගේ දැනුන නිසා.ඉවර වෙච්ච  ෆිල්ටර් කොටේ පාගලා දාපු මං සිගරට් ගන්දස්සාරෙ සුවද විදගෙනම කැඩිච්ච ප්ලාස්ටික් පුටුවෙ හරිබරි ගැහුනා.මටම නොදැනුවත්මට මගෙ ඇහැ පියවෙන්නට ගත්තා.ඒත් එක්කම වගේ පහල තට්ටුවෙ පරන වෑර්ලස් එකෙන් අහන්නට ලැබුනු සංගීතය මාව මගේම ලෝකයක ආයෙත් වතාවක් තනි කරන්නට පටන් ගත්තා.


තනිවෙන්නට මගේ ලොවේ
පුරුදු පාළුවෙන්
රැගෙන යන්න සොඳුරියෙ
ඔබෙ සුවඳ මා ළඟින්...

සිව් වසරක පෙම් ගීතය
ගොළු වෙලා ගියා දෝ..//
අලුත් ලොවක ඔබ සතුටින්
කිරුළු පැළඳුවාදෝ....

මායාවකි ප්‍රේමය මා
හදවත රිදවූයේ..//
සෝ ගීයකි දුක් බර වූ
සැනසුම කොහි වේ දෝ...


Saturday, September 16, 2017

ඉස්කෝලෙ ගිය හැටි  1



ඒ 2006 වර්ෂයේ මුල් භාගය.එතකොට මං ශිෂ්‍යත්වෙ මහ ඉහලින්ම සමත් වෙලා අලුත් ඉස්කෝලෙකට යන්න හදන කාලෙ.ලකුණු ගොඩක් තිබුන නිසා හිතපු විදයටම ගෙදරට මිනිත්තු 10ක දුරකින් පිහිටි ජාතික පාසලටම යන්න මාව තේරිලා තිබුනා.පාසල් තෝරන අයදුම්පත පුරවපු හැටිත් මට හොදටම මතකයි තාමත්.ඒකට පිළිවෙලින් තමන් යන්න කැමති පාසල් 10ක් දාන්න පුලුවන්, තමන් ලබා ඇති ලකුණු අනුව.ඉතිං මං ඒකෙ ඉස්සෙල්ලාම දැම්මේ අල්ලපු වැටේ ජාතික පාසල.ඊට පස්සේ ගම්පහ ප්‍රසිද්ධ පාසලක්.ඊටත් පස්සෙ කොළඹ රාජකීය, ආනන්ද හා නාලන්ද යන පාසල් ඇතුලු පාසල් 10ක්.රෝයල් යන්නත් ලකුනු තිබුනට මං වගේම අම්මයි තාත්තයි බලාපොරොත්තු උනෙත් මහ පාරේ ටයිම් පාස් කරනවට වඩා ලගපාත රවුමක් ගහල එන එක පට්ට කියලා.අනික අම්ම තාත්තගෙ ඉදන් නෑදෑ හැත්ත බුරැත්තම ඉගෙනගත්ත ඉස්කෝලෙ ගැන ලොකු පැහැදීමක් තිබ්බ අපිට.ඒ ගැන කියද්දි ඔය අයදුම්පතේ පාසල් 10ටම එක ඉස්කෝලෙක නමක් පුරවන් ඇවිත් ඒකටම යන්න දගලපු චේතිය කියල් පොරකට (කිව්වට එයාගෙ අම්මට) දයාරත්න සෑර් හොදටම බැන්න හැටිත් මට තාම මතකයි.

ඉතින් කෝමින් කෝම හරි පාසලට තෝරගන්න ඉන්ටර්වීව් එකට දාගෙන යන්න මට හරිහමන් සපත්තු දෙකක් තිබ්බෙ නෑ.මං ඒකට දාගෙන ගියේ දුඹුරු පාට පටි සෙරෙප්පු දෙකක්.ඒත් මගෙ වාසනාවට එදා ඉන්ටර්වීව් එකට මගෙ මස්සිනාකාරයව දාන්න ආපු නැන්දයි මාමයි කාරෙකෙන් අලුත්ම සපත්තු ජෝඩුවක් අරන් දුන්න හැටිත් තාම මතකයි.එදා තමයි අම්මයි තාත්තයි මාව ඉස්කෝලෙට දාන්න ආපු මුල්ම හා අවසන් දවස.

කොහොමහරි ඉස්කෝලෙ යන්න තිබ්බ පලවෙනි දවසට කලින් දවසේ රෑ 7ට විතර තාත්තා මාවත් එක්කන් ගියේ ගෙවල් 4කට 5කට එහා තිබ්බ අක්ක කෙනෙක්ගෙ ගෙදරට.එදා යද්දි ඒ ගෙදර දාලා තිබ්බ ටීවී එකේ ගිය මූසල ඇඩ් එක තාමත් මතකයි හොදටම.ඒක රක්ෂණ සමාගමක ඇඩ් එකක්.මතක විදියට සෙලින්කෝ වෙන්න ඕනි.මොන හේතුවකටද මංද ඒකේ තිබ්බ මියුසික් එක මට මූසල බවක් දැනුනෙ.ඉතින් ඒ ගෙදර අයත් එක්ක කතාකරලා මාව හැමදාම ඒ අක්කත් එක්කම ඉස්කෝලෙ යවන්න කතා උනා. ඉතිං පහුවෙනිදා ඉදං හැමදාම උදේ 6.15ට විතර මං යනවා අක්කලගෙ ගෙදර.(ගතවෙච්ච අවුරැදු 11ටම අදටත් මං එයාගෙ නම දන්නෙ නෑ) ගිහින් දොර ඉස්සරහට වෙලා එයා කොන්ඩේ පීරලා සැන්ට් පවුඩර් ගහල එනකං ලකා ගහගෙන ඉන්නවා.ඒ අතරේ වෙන දේවල් කීපයකුත් තියෙනව හැමදාම.

ඒ ගෙදර කෙල්ලොම 3 දෙනෙක් ඉන්නෙ.අක්කයි තව මට වඩා අවුරැද්දක් හෝ දෙකක් බාල අර ඉස්සර ගිය මායා බන්ධන එකේ රජ පැටියා වගේ අමුතු කොන්ඩෙ තියෙන  කෙල්ලෙකුයි, තව පොඩි කෙල්ලයි.ඉතින් හැමදාම මං යන වෙලාවට තමයි පොඩි දෙන්නා ඉස්කෝලෙ යන්න ලෑස්ති වෙන්නෙ.කේස් එක තියෙන්නේ ඒ ගෙදර ෂවර්, ටැප්,වැසිකිලි ඔක්කොම තියෙන්නෙ ඉස්සරහ දොරට පේන දුරින් කලු ඉටි ගහලා කවර් කරලා. ඉතිං හැමදාම මං දොර ඉස්සරහ අක්කා එනකං දොරටුපාල වගේ ඉන්න අතරේ මද්දුමී දිය රෙද්දක් ඇදගෙනත්, පොඩ්ඩි අමු හෙලු හෙලුවෙනුත් දුවන එක සාමාන්‍ය දෙයක් වෙලා තිබුනා. 

ඉතින් ඔහොම කාලෙ ගෙවෙද්දි උන ලස්සනම සිදුවීමක් මතක් වෙනව ඔන්න.අර මට තෑගි ලැබුනු සපත්තු කුට්ටම ලේස් දාන වර්ගයේ එකක්.ඒ වෙනකං මං පාවිච්චි කරලා තිබ්බෙ අලවන ඒවා විතරයි. මට හරියට ලේස් ගැටේ ගහන එකත් නිකං මඤ්ඤොක්කා වෙලා තිබ්බෙ.ඒ හින්දා ගෙදරින් අම්මට කියලා ගහගෙන යන සපත්තු ගැටේ ගැලවුනෙත් එහෙම මං ඊලගට ගහන ගැටේ අඩි 10න් 10ට ගැලවෙනව.දවසක් වෙල මැද්දෙන් අඩි පාර දිගේ අක්කත් එක්ක යද්දි මේ විදයට අඩි 10න් 10ට ලේස් එක ලෙහෙන්න ගත්තා.මං ඉතින් 3,4 සැරයක්ම නැවතිලා ලේස් ගැටගහන කම් අක්කටත් නවතින්න සිද්ධවුනා.එනපොට හොදනැති බව දැනගත්ත අක්කා කො ඉන්න කියලා පාරෙදිම නැවිලා මගේ ලේස් එක ගැටගැහුවා.ඒ වෙලාවෙ ඇතිවෙච්ච මෙව්ව එකෙන් පස්සේ තමයි මං හරියට ගැටේ ඉගෙන ගන්න ඕනෙ කියල තේරැම්ගත්තේ.

කියන්න පටන්ගත්තෙ නං වෙන එකක් අන්තිමේ කියවුනේ ඉන්ට්‍රො එක විතරයිනේ.පයින් බස් එකෙන් පුටාර් එකට, සුපර් ස්ටාර් එක්ක ඊලග කෑල්ල තවත් රසවත්!