Wednesday, November 14, 2018

(අ) සම්මතය | The Atypical


තවත් වැහිබර හවසක්. රාජකාරි අහවර කරලා සීතල වතුරින් ඇගපත ‌තෙමාගෙන මං කැමතිම පුටුව අරගෙන ජනේලය ලගින් තියාගත්තේ එළියෙන් එන වැසි පුසුඹ ඉබින්න හිතාගෙනමයි. කෝපි කෝප්පයක් තොලගගා වීදුරු ජනේලයෙන් එලියෙ වැටෙන වැහිබිදු දිහා බලාන ඉදල ඉදල බැරිම තැන බුකිය පැත්තට ගොඩවැදුනෙ කම්මැලිකම යන්නත් එක්ක. වෝල් එක පුරාම පිරිලා ඉතිරිලා තිබුන දේශපාලන ‌‌කලබගෑනි පහුකරගෙන මං පහලට ආවා. අතරින් පතර තිබුන ගෑනු ලමයින්ගෙ පොටෝ ටිකත් හදිසියෙන් වගේ බලාන පහලට යන අතරමග එකපාරටම මවුස් එකෙන් අත ඈතට විසි උනේ කරන්ට් එක වැදිලා වගේ ෂොක් වෙලා. ඒක අතැගිලි දෙකක් එකිනෙක බැදුන පින්තූරයක්. ඒත් කොච්චර කාලයක් ගතවුනත් ඒ තඹපාට අතැගිලි අදුරගන්න මට බැරිකමක් තිබුනෙ නෑ. මගෙ පපුව දිගේ හීනියට රිදුමක් ගියේ මොකුත්ම හිතාගන්නවත් බැරිව. ඒක සතුටක්ද දුකක්ද කියලා හිතාගන්න මට සෑහෙන අමාරු උනා.

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ...

ඔව්, ඒක එක විදියක අසම්මත ආදරයක්. ඒත්, කවුද කියන්නෙ ආදරේ කරන්න සම්මත විදියක් තියෙනව කියලා. මෙහෙම කරන්නෝනි අරහෙම කරන්නෝනි කියලා. ඒක සාපේක්ෂයි, ඒ වගේම එකිනෙකාට වෙනස්. එහෙම වෙන්නම ඕනෙ. නැතිනං ඒක ඒක ඒකාකාරී වෙන්නැද්ද. ඔව්, එයා අක්කා කෙනෙක්. මට වඩා අවුරුදු ගානක් වැඩිමල්. ඒත් එහෙමයි කියලා, ඒ හුරතලේට.. ඒ දගකාරකමට ආදරේ කරන්න නොහිතෙන්නෙ කාටද? දන්නවද, මට එයාව හම්බුනේ හරිම අහම්බෙන්. හැමතිස්සෙම ලස්සන මතකයන් අපේ ජීවිතේට එන්නෙ කිසිම බලාපොරොත්තුවත්, දැනුම්දීමක් නැතිව. ඒත් මං කවමදාකවත් හිතුවෙ නෑ අපේ ඒ හමුවීම මට කවදාවත් අමතක නොවෙන මතකයක්, ජීවිතේටම දැනුන ලොකුම තෘප්තියක් එකතු කරාවි කියලා. ඇගේ තඹ පාට සිරුර, හීනි කටහඩ, මුදු මුදු ස්පර්ශය.. මාව මත් කරවාවි කියලා... ඒත් හොදට හෝ නරකට. ඒක එහෙම උනා. විනාඩි ගානක ඒ ඇසුර. මාව උන්මත්තකයෙක් කලා.


හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා
ඔබට විරහ ගිනි නොගෙනේවා...

දන්නවද, මං කොච්චර ඈට වශී උනාද කියලා. මං තීරණය කලා වයස පරතරය නොහිතා ඈව මගේම කරගන්න. මං හීන දකින්න පටන් ගත්තා හැම තත්පරයකදිම ඈ ගැන. ඒත් මොන සරදමකටද මන්දා මට ඈව හමුවෙන්න  පුලුවන් උනේ කිහිව වතාවක් විතරයි. ඒත් එහෙමයි කියල මං ඈ ගැන හීන දකින එක නං ‌නැවැත්තුවේ නෑ ‌පොඩ්ඩක්වත්. ඒත්, ‌‌කවදාහරි මට එයාව මගේම කරගන්න බැරි උනොත් එයාට ලස්සනට ‌කසාදයක් හරි කරලා ‌‌දෙන්න ඔනි කියන තැනට මගෙ ඔලුව වැඩ කරලා තිබුනා. ඒක ඒ තරම්ම ඔපන් ආදරයක්. මට ඒ හැම මතකයක්ම දැන් දැන් ආයෙමත් ඔලුවට ඇවිත් හිසරදයක් ‌වෙන්න පටන්ගත්තෙ ඇයි කියන එක මට තාමත් හිතාගන්න බෑ. ඒ ගැන හිත හිතම මං ඇදේ අනිත් පැත්තට හැරුණා. ඔව්, මං තාම ඒ අසම්මතේට ආදරේ කරනවා අප්‍මාණව. ඉතිං දුක් වෙන්නෙ මොකටද මම? ඈ සතුටින් නම්...


තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා...


Friday, October 12, 2018

රෝස මලට කියනවාද?


මං ඒක දැක්කෙ අහම්බෙන් වගේ... කවුරු හරි පාගලා, පොඩිකරලා, විසි කරලා දාලා තිබුන මලක්. ඔව්.. රතු රෝස මලක්. හැමතැනම තැලිලා, පොඩිවෙලා තිබුනෙ. ඒත් මට ඒක දැක්කට පස්සෙ අහක බලාගෙන යන්න හිතුනෙම නෑ. ඒ් කියලා මට ඒකට බෙහෙත් කරන්න වෙලාවක් තිබුනෙ නැති බවත් ඇත්ත.  ඒත් මං හිතුවා, මොන වැඩේ තිබුනත් ඒ වෙනුවෙන් වෙලාවක් හදාගන්න. ලස්සනට සාත්තු සප්පායම් කරලා ආදරෙන් බලාගන්න. ඉතිං... මං හිමීට ඒ මල අතට ගත්තා, හීනියට තිබුන නටුවෙන් කටුත් ගිලිහිලා තිබුනෙ. ඒ තරමට විනාස වෙලා. ඉතින් ඒ කටුවලට හයිය හත්තිය ඉතුරුවෙලා තිබුනෙ නෑ, මගෙ ඇගිලි තුඩුවලට රිද්දන්න තරම්... ඒ තරමට දුර්වල වෙලා ඒ "රෝස මල".

මල වටකර පෙති සැදුනේ
පෙති රකින්න නම්
තරහ ගන්නෙ කොහොමද
අතු ඉතිත් එක්ක මං...

කාලය වේගයෙන් ගතවෙලා ගියා. ඒ රෝස මල දැන් හරිම ශක්තිමත්. නටුවත් එහෙමයි. ඒත් ඒක තියෙන්නෙ තාමත් මං ලග. චූටිම චූටි ලස්සන පෝච්චියක. අව්වට වැස්සට සුළගට අහු නොවුනාමත් නෙමයි. ඒත් ඒ හැම දෙකින්ම තව තවත් ලස්සන උනා ඒක. මාත් ගොඩාක් ලොකුවට ට්‍රයි කලා ඒක පරිස්සම් කරන්න. ඒත් සමහර වෙලාවට ඒකට මදි උනා මං දුන්න සීමිත ඉඩකඩ. ඒ රෝස පැලේට ඔන උනා ඉර පැත්තට ඇදීලා යන්න. අවට පෝච්චිවල තියෙන අනිත් පැල එක්ක හරි හරියට තරග කරන්න. මං පැත්තක ඉදගෙන ඒ දිහා ගොඩාරියක් බලාන හිටියා. තව තවත් ට්‍රයි කලා පරිස්සම් කරන්න. එහෙම කරන්න හදපු වෙලාවට මගේ අත කටුවලින් හූරන්නත් නටුව අමතක කලේ නෑ. හීනි නහර පලාගෙන ලේ එන්න ගන්නකොට මං ඉවසගෙන හිටියෙ හරිම වේදනාවෙන්.

මගෙ සොහොනට ආවොත් ඈ
අවසර විගසින්
කියන්න මා‌ පෙම් කළ බව
රෝස ගහ තරම්...

කොච්චර ලස්සන උනත් රෝසිට කවදාවත් වෙනස් කරගන්න බැරි පුරුද්දක් තිබුනා. එයාට වතුර නැති වුනත්, පස සවුත්තු වුනත්, හුළග දරාගන්න බැරි වුනත්... අඩුම තරමෙ මොනම හරි දෙයක් වුනොත් ඇකිලෙන පුරුද්දක්. හරියට නිදිකුම්බා මලක් වගේ. හැම දේටම "උත්තරයක් නොවුනු, ඒ වගේම කවදාවත් හරි උත්තරයක් නොවෙන" උත්තරයක් තිබුනා. ඒක හරිම අස්වාභාවිකයි වගේම අනතුරුදායකයි. ඒ ඇකිලෙන හැම සැරේම නටුවෙන් කටු විහිදෙන්න ගත්තා,විසිරෙන්න ගත්තා. ඒ හැම සැරේම ලග පාතක තිබුන රුධිර නාල වලින් රුහිරේ වෑහෙන්න ගත්තා. අතපය දරුණු විදියට හීරෙන්න ගත්තා. මං එක්ස්පෙරිමන්ට් කරන්න ගත්තා, ඒ ඇකිලෙන එක නවත්තන්න විදියක් හොයාගන්න, මොකද කවදාවත් අව් වැසි හුලං නවත්තන්නට මට බැරි බව හොදින්ම දන්නා නිසා. අඩුගානේ ඒවායින් ආවරණය වෙන්න, ඒවට උත්තර හොයන්න විදියක් එයාටම හදාගන්න දෙන්න.

දන්නවද, ලෝකෙ තියෙන හොදම සම්මතය"සුදු කොඩිය". මට මිහිතලේ එක්ක කතා කරන්න බැරි උනාට ඒකෙම කොටසකට පුලුවන් වෙන්නම ඔනෙ කතාකරන්න- කතා කරලා විසදගන්න. මට පුලුවන් සුදු කොඩියක් වෙන්න විතරමයි. ඉතිං මං මාස ගානක් නැවත නැවත කිව්වා රෝසිට, ඇකිලෙන එක නවත්තන්න කියලා- ලේ පෙරෙන අත පෙන්නලා... ඒත්, කවදාවත් ඒක වැඩක් උනේ නෑ... අන්තිමට, මට සිද්ධ වුනා ඉඩදෙන්න, වගෙම පිලිගන්න... කවදාවත් ස්වභාව ධර්මය වෙනස් කරන්න බෑ කියලා.

රෝස මලට කියනවාද
මා මියගිය බව
කියන්නෙපා රෝස ගහේ
කටු විස වුනු වග...

Sunday, August 26, 2018

මේ නිශාන්තයේ... | Moment of a Nightmare



වෙලාව හැන්දෑවේ 7ත් පහුවෙලා. වෙනදා වගේම මං එයා එනකං බලාන ඉන්නවා. නෑ.. එයා එනකං මං තවත් බලාන ඉන්නෙ නෑ. ඒ කියන්නෙ තරහකටවත් වෙන මොකක් නිසාවත් නෙමෙයි. එයා දැන් කොහෙ ඉදීවිද, මොනව කරනවද, පරිස්සමින් ද කියලා හොයලා බලලම එයාට ඒක ඇති වෙලා. බාගදා එයාට ඒක කරදරයකුත් වෙන්න ඇති. අඩුගානෙ මං දැන් එන ගමන් ඉන්නෙ, බය නොවී ඉන්න කියලා චූටිම චූටි ටෙක්ස්ට් මැසේජ් එකක්වත් දාන්න එයාට ගානක් නැතිවෙනකොට මං මොනව කියලා කරන්නද... මට තියෙන එකම විශ්වාසය කොයිම වෙලාවක හරි මොන අපායක ඉදන් හරි එයා ඒවි කියන එක. අඩුගානෙ එතකොටවත් මට සැනසිල්ලෙ නිදාගන්න පුලුවන්, විකල්ප වලට යන්නෙ නැතිව.
සදුද අවදියෙන්
තරුද අවදියෙන්
මේ නිශාන්තයේ
ඔබ ළග නැති තව

දිනක් ගෙවී යයි
තනිවුන වසන්තයේ...

😓

දන්නවද දෙයක්, බදින්න ඉස්සර මං හිතාන හිටියෙ මං රෝමියෝ කියලා. කීපදෙනෙක් එහෙම නොකිව්වත් නෙමෙයි ඒ කාලෙ නං. මං දැනගෙන හිටපු එකම දේ නොසෑහෙන්න ආදරේ කරන්න, පරිස්සම් කරන්න, ආදරෙන් බලාගන්න, හොදට සලකන්න... බැදපු මුල් දවස්වල මං හැමතිස්සෙම එයා ගැන හොයලා බැලුවා. චුට්ටක් හරි පරක්කු වුනොත් කරදරයක්වත්ද කියලා හිත කලබල වුනා. එයත් මොන දේ කලත් මට කිව්වා, අඩුගානෙ යාලුවෙක්ගෙන් හරි ෆෝන් එකක් ඉල්ලගෙන. ඉතිං මං මාරම සතුටකින් හිටියෙ. මං හිතුවෙ මට මගෙ ජීවිතේම එයා වුනා වගේම එයාටත් එහෙම ඇති කියලා. මට දැනුනා එහෙම, ඒක මායාවක්ද කියලා දන්නෙ නම් නෑ. ඒත් ඒක එහෙමයි.

පස්සෙ පස්සෙ මං ඒක තේරුම් ගත්තා. නිකං බොරුවට කෑ ගහලා වැඩක් නැති විත්තිය. ඇගෙන් මොකුත්ම බලාපොරොත්තු නොවී ඇගෙ හිත පිරෙන්නම සෙනෙහස පුරවන්න ඔන විත්තිය. ඇය පිරෙන මොහොතක් ගානේ මාත් පිරෙන විත්තිය. ඉතිං මං ඈට නිදහස දුන්නා. ඒක අසීමිත නිදහසක්. එයා සතුටින් ඉගිලිලා ගියා කූඩුවෙන්.. ඇත්ත, ඈව පරිස්සම් කරන්න ඔන බව ඇත්ත. ඒත්, එහෙමයි කියලා ඒ මූණ දුකින් ඉන්නවට මං පොඩ්ඩක්වත් කැමති නෑ. වෙන දෙයක් වේවි. මං පට්ටම සතුටකින් ඉදීවි කියන්නත් අමාරුයි. ඒත්, ඈ සතුටින් නම් තව මොනවද? එහෙම හිතපු මං මීවිත ඩිංගක් තොල ගෑවේ ඇගේ මතකයට ගුලිවෙමින්...

සීතල ඇතිරුනි
මිහිරිය ලය මත
කොද කෙමි පිපිරුණි
මධු පුරවා...
උණූසුම දිසුනේ

නෑ නෙතු මානෙක 
ඔබ ළග නැතිවම
අද මා තනිවම...

අන්තිමට රෑ 8ට විතර කඩාගෙන බිදගෙන ඈ ආවා. මං එයා දිහා සද්ද නැතිව බලාන හිටියා. "බස් නෑ අප්පා, එපා වුනා" එහෙම කියාගෙන මූණවත් නොබලාම එයා ගියේ කාමරේට. එතනත් පැයක් විතර එයා වොෂ් දානකං මං කඩෙන් ගෙනාපු කෑම එක පිගානකට දාලා තවත් පිගානකින් වැහුවෙ අසරණී තවත් දුක් විදිනවට  කැමති වුනේ නැති නිසාමයි. ආයෙත් මීවිත තොලගාන අතරවාරේ එයා දුහුල් ඇදුමක් ඇදගෙන කෑම කන්න ආවෙ නාහේ කඩාගෙන යන එයාටම ආවේණික වෙච්ච සුවදත් අරගෙනමයි. මං වීදුරුව පැත්තකින් තියලා ඈ දිහාම බලාන හිටියා. ඈ හොරෙන්ම මාත් එක්ක හිනාවුනා. ඔව්, අෑ සතුටින්. ඉතිං තව මොනවද?

පහන් නොදැල්වෙන
ඔබේ පැල්පත තුල
නිදිමත අඩ නෙතුපිය සනහා...
මගේම කදුලක් වී පිණිබිදු ලෙස
ඔබේ කවුළුව ළග පිපි මල් පෙති මත....

මුල් කාලෙ නම් මං බලාන  හිටියේ කාලා ඉවර වුන ගමන්ම ඈව තුරුලට ගන්න. ඒත් දැන් කාපු ගමන්ම ඈ ෆෝන් එක තුරුල් කරගන්නවා, යාලුවො එක්ක කතා කරන්න. මං තවත් වීදුරුවක් හිස් කරනව. පව්, එයාට ගොඩක් දේවල් ඇති කතාකරන්න යාලුවො එක්ක. ඉතිං මං ආයෙමත් වීදුරුවක් හිස් කරන්න ගන්නවා. තව ටිකකින් ඈට පුටුවෙම නින්ද ගිහින්. පව් කෙල්ල, මං එයාව උස්සගෙන ගිහින් ඇදින් තියලා මාත් ගෙදර හැමතැනම විදුලිය විසන්දි කරලා ඇදට යනව. බුදු පහනෙ තැඹිලි එළිය ලාවට දිලිහෙනව. මට නින්ද යන්නෙනෑ. හිත ඇතුලෙ වචන දාහක් හොල්මන් කරනවා එලියට දාපං දාපං කියකිය. මොනව කරන්නද, කියන්න කෙනෙක් නැතිවට. මං ආයෙමත් ඈ දිහා හිනාවෙලා බලනව. ඔන්න එතකොට මගෙ කෙල්ල මතුවෙන්න ගන්නවා. හීනෙන් හිනාවෙනව මාත් එක්ක. මොන මොනවද හුරතලෙන් කියවනවා. අත දාලා මාව බදාගන්නව. ඒත් හීනෙන්. මොනව උනත් ඒ තමයි මං කැමතිම වෙලාව. එයාට වෙලාව නැති වුනාට හීනෙන් හරි මාත් එක්ක ඉන්නවා. මං ඉතිං ඒකට හැමදාම අාදරේ කරනව... එච්චරයි!