Wednesday, November 4, 2015
දුර්වලයෙකුගේ ආත්මකථනය
ටිකි ටිකිහ්...ටිකි ටිකිහ්...ටිකි ටිකිහ්...ටිකි ටිකිහ්...
සුපුරුදු එලාම් හඩින් අවදි වූ මා නින්දෙන්ම එය ක්‍රියාවිරහිත කොට දෑස් විවර කරන්නට විය.
වෙනදා තරම් ප්‍රබෝධමත් ගතියක් නොතිබුනද,කාලයට ඉඩදී ලකලෑස්ති වී දුම් රිය නැවතුම්පලට පැමිනියේ හිස් හැගීමකිනි.ඕනෑවට එපාවට මෙන් සෙනග මැදින් කෝච්චියේ එල්ලුන මා දුවන ගස් පහුකරන් යන දිහා ඔහේ බලා සිටියෙමි...
මොහොතකින් පියවි ලෝකයෙන් නික්මුන මගේ සිත ස්වයං සංවාදයක යෙදෙන්නට විය.
********************************************
මං සිදාදියට ආවේ කාසි විතරක් හොයාගෙන නෙමෙයි.ජීවිතෙත් හොයාගෙන,ඒ වගේම සතුට හොයාගෙන.මට තාම කාසි හම්බුනෙත් නෑ,ජීවිතේ හම්බුනෙත් නෑ.ඒත් සතුට හම්බුනා...ටිකක් විතර.මට තිබුනා ඕනෙනම් බොරු කියන්න ඔයාට..මං කරන්නේ "සුදු කරපටි" රස්සාවක් කියලා,මොකද ඔයා චෙක් කරලා බලනවා කියලද?ඒත් මං එහෙම කලේ නෑ,මොකද මට ඕනේ උනේ නෑ බොරු කරන්න ඔයාට.
දන්නවද...මං ඉස්සර හිතං හිටියේ "සතුට" තියෙන්නේ ආදරේ කියලා...පස්සෙ හිතුවා සල්ලිවල කියලා..ඊටත් පස්සෙ හිතුනා වැඩකරන එකේ කියලා..ඒත් මට දැන් දෙයක් තේරෙනවා,සතුට කියන්නේ ඒ හැම දේකම එකතුවක් කියලා..
මං උදේ ඉදන් වැඩකරලා මහන්සි වෙලා,පැය ගානක් පාරට රස්තියාදුවෙලා ගෙදර එන්නේ ඔයත් එක්ක ටිකක් කතාකරන්න.ඔයාත් එක්ක ගිරව් වගේ කියවනකොට..හිතේ අමාරුවයි,ගතේ අමාරුවයි ඔක්කොම අතුරුදහන්වෙලා යන්නේ මටත් නොදැනිම.ඉතිං අන්තිමට දැනෙනවා අද නම් හරිම ලස්සන දවසක් ගතකලේ කියලා.වැඩ කරද්දි උනත්,ලැබෙන පොඩි ඉඩකදි ඔයාට කතා කරන්න ට්‍රයි කරන්නේ...ඒකෙන් ආයෙත් වැඩකරන්න තරම් "ශක්තියක්" ආපහු ලැබෙන නිසා...
අම්මොහ්! මං හිතලා තියෙන දුර..කොටුවෙන් බැස්ස මං පයින්ම ගාලු මුවදොර පැත්තට ඇවිදගෙන ගියා.හිත අවුල් උන ගොඩක් වෙලාවට තනියම මේ පැත්තට ඇවිත් අරමුණක් නැතිව මූද දිහා බලන් හිටපු හැටි මතක් වෙන්න ගත්තා.
මම බලාගෙන හිටියා මූද දිහා...ගොඩක් වෙලා..මං දැක්කා දෙයක්..ඈත මූදෙ ඉදං රළ පේලි පේලි වේගෙන් ඇවිත් පරවල වැදිලා කුඩු වෙන හැටි..නැත්නම් ඒවා වැල්ලේ වැදිලා බොදවෙන හැටි...ඔව්..ඒවා කොහොමත් විනාශ වෙනවා..හරියට අපේ බලාපොරොත්තු වගේ..ඒත් පුදුමෙ කියන්නේ එහෙම උනා කියලා රළ එන එක නවතින්නෙත් නෑ..හරියට අපි කොච්චර බිදෙන බව දැන දැනත් බලාපොරොත්තු ඇතිකරගන්නවා වගේ!
මට මුලින් හිතුනේ මුහුදෙ පාවෙලා යන්න..ගිහින් මූදු පතුලෙ හැංගෙන්න.ඒත් මට මතක් උනා බස්සි අක්කා කියපු කතාවක්.
"මූදූ වතුර නහයට උඩින් අඩියක් ගියත් එකයි,අගලක් ගියත් එකයි"
ඉතිං මං ආපහු හැරුනා.ඔව්..ඔයා කියනවා වගේ අපි "කාලයට ඉඩ දෙමු".මං යන්නම් ඈතට..ගොඩාක් දුරට,හැබැයි නවතින්න නෙමෙයි..මං ආයෙත් එනවා දවසක.හැමදාම ලගින් ඉන්න.එතකං,පරිස්සමින් ඉන්න...
Friday, October 9, 2015
රේඩියෝවයි මමයි!
ටීවී එකේ දෙමල ෆිලුමක් බල බල ඉන්නකොට ම දැක්කා රේඩියෝ චැනල් එකක ඇඩ් එකක් යනවා.ඒකේ ෆ්‍රීක්වන්සි දෙකක් තිබුනා.ඒක දැක්කම මට ලස්සන කතා වගයක් මතක් උනා.ඉතිං ෆිලුම බලන එක පැත්තකට දාලා ලියන්න හිතුවා ඒ ගැන.
මගේ ජීවිතේ ඉස්සෙල්ලම වගේ රේඩියෝ සම්බන්ධ අත්දැකීමක් තියෙන්නෙ පොඩිකාලෙ..ම්ම්..මං එතකොට 4වසරෙ විතර ඇති.ඒ දවස්වල අපේ නැන්දා(කෙනෙක්) හිටියෙ එහා ගෙදර.ඉතිං හැම ඉරිදම එහෙට සිංහල පත්තරෙයි,ඉංග්‍රීසි පත්තරෙයි ගන්නවා.සිංහල එක දිවයින.මං ඒකෙ කියවන්නෙ "උදාරගෙ පිටුව" කියලා තියෙන පොඩිත්තන්ට වෙන්වුන මෙව්වා එක විතරයි.ඉංග්‍රීසි පත්තරේ නං නම මතක නෑ,ඒත් ඒකේ අනිවාර්යයෙන් බලන කෑලි 2ක් තිබ්බා.එකක් තමයි "මැගසීන්" අතිරේකය.(පත්තරේ මොකක්ද කියලා මතක අය කියන්නකො) අනිත් එක තමයි "ටීවී" අතිරේකය.මං එහෙම කිව්වට ඒකේ නමනං ඒක නෙමෙයි මයෙ හිතේ.ඒකෙ තියෙන්නෙ සතියේ රූපවාහිනි වැඩසටහන් පෙලගැස්ම.ඒක සෑහෙන්න වටින මෙව්වා එකක්.මං ඉතින් ලස්සන ප්‍රොග්‍රෑම්,ෆිලුම් එහෙම තියෙන දවස් පීර පීර බලන එකයි කරන්නෙ.ඒ වගේම ඒකේ සතියේ රේඩියෝ වැඩසටහන් පෙලගැස්මත් ගින්දර වගේ තියෙනවා.මං ඒ කාලෙ ලොවෙත් රේඩියෝ ඇහුවෙ නැති උනාට ඒකත් බලන්න අමතක කරන්නෙ නෑ.
ඊට පස්සෙ රේඩියෝ එකක් අතපත ගාන්නෙ මං 5 වසරෙදි.මොකද දවසක් අපිට තිබුන පාඩමකටද කොහෙද අපේ පන්තිබාර "දයාරත්න" සර් අපිව ඉස්කෝලෙ හෝල් එකට එක්කගෙන ඇවිත් රේඩියෝ එක ගැන ටිකක් කියල දුන්නා.එතනදි තමයි මං දැනගන්නේ ඔය ඇෆ්.ඇම්. වලට අමතරව AW1/AW2 හා SW කියලා ඒවත් තියෙනවා කියලා.මං ඉතින් එදා ගෙදර ගිහින් ඕවා ගැන පරීස්සන කොරන්ට කියලා හිතාලා ගෙදර මකුලුදැල් ගොඩේ තිබුන "නැෂනල්" වෑර්ලස් එක එලියට ගත්තා.ඕං ඉතින් ඒක ගත්තා විතරයි මට තව කතාවක් මතක්වෙනවා කියහංකෝ.ඒක තව ටිකකින් කියන්නම්..ම්ම්..ඉතිං මං වෑර්ලස් එක අරන් කරකව කරකව හිටියා.ඒකෙත් පුලුවන් අර ඇෆ්.එම්./ඇස්.ඩබලිව් මාරු කරන්න.ඒ දවස්වලත් ඒ.ඇම්. ශබ්ද තරංගවලින් විකාශය වෙන නාලිකා තිබුනා.නමුත් පැහැදිලි බව නම් ගොඩක් අඩුයි.ඉතින් ඒ විදියට තමයි මං ඉස්සෙල්ලම රේඩියෝ අහන්න පටන් ගත්තෙ.ඉතිං ඊට පස්සේ,කාලයක් යනකම්ම රේඩියෝ එක ඇද යට තියලා අහ අහ හිටියා.
ආහ් තව දෙයක් මිස් උනානෙ කියන්න.පොඩි කාලෙ අපි කැමති දේවල් තියෙනවනේ.ඒ කියන්නෙ කැමතිම ක්‍රීඩාව,චැනල් එක වගේ ඒවා.ඉතින් මං ඒ කාලෙ කැමතිම රේඩියෝ චැනල් එක උනේ "හිරු".අඩුගානෙ ම\ම් ඒක අහලවත් තිබුනෙ නෑ.ඒකට කැමතිවෙන්න හේතුව ර්හමයි,ඒකෙ ලෝගෝ එක ලස්සන වීම.එච්චරයි...
ඔන්න ඔය සීන් එකෙන් පස්සෙ මට ආයෙත් රේඩ්යෝ කතාවක් මතකෙට එන්නෙ 7,8 වසර වලදි අපේ "ගෝරිල්ලා" සර් රැස්වීමකදි කියපු කතාවක්.මහලොකු දෙයක් නෙමෙයි..සුපුරුදු බැනීමක් ගුවන්විදුලියට.දැන් කාලේ නිවේදිකාවෝ ....බ්ලා බ්ලා බ්ලා..හැබැයි ෆ්හැන් හොද චැනල් එකකට තියෙන්නෙ "සිටි ඇෆ්.ඇම්." එක විතරයි කියලා.
දැන් අර කතාවට එමු.ඔය රේඩියෝ රාජයා ටිකක් සයිස් එකක්.ඉතින් ඇදයට තමයි දාලා තියෙන්නෙ හොඩාක් වෙලාවට.ඒක ගොඩක් පරන නිසා වයරුත් මීයෝ කාලා,සෙලෝටේප් ගහල එහෙම තමයි තිබ්බෙ.ඉතින් දවසක් අපේ පැත්තෙ කැරකෙන "හොර පූසා" ගේ ඇතුලට ආවම පුරුදු විදියට මං එලෙව්වා.ඒත් කරුමෙට මූ කාමරේට ඇවිත් ඇද යටට රිංගුවා.ඒ කාමරේ(බෙඩ් රූම් එක) බිමට කොන්ක්‍රීට් විතරයි දාල තිබ්බේ.(තාමත් එහෙමයි) ඉතින් ඇද යටට රින්ගනවා කියන්නෙ දනිස් හූරගන්න වැඩක්.ඉතිං මං කලේ කොස්ස අරං ඇවිත් මිටෙන් අල්ලගෙන ඇද යටට එබුවා පූසව පන්නගන්න කියල හිතාගෙන.එක පාරටම මාව "වෙව්ලන්න" පටන් ගත්තා..කොස්ස අත ඇරල මං ටික වෙලාවක් කල්පනා කලා.මං හිතුවෙ පූසා කෝස්සෙ යටින් කටින් අල්ලගෙන හොලවන්න ඇති කියලා.ඕවා කොහෙද මාත් එක්ක කියලා ආයෙත් වැඩේට බැස්සා..අම්ම ගහයි බැට් එකෙන් කිව්වලු.මෙන්න ආයෙත් කලින්ට වැඩි වෙව්ලීමක් එක්ක ඇග හිරිවැටිලා ගිහින් මාව විසිවුනා.බලං යද්දි වෙලා තියෙන්නෙ කොස්ස දාද්දි අත වැදිලා අර වෑර්ලස් එකෙ මීයෝ කාපු වයර් කෑල්ලක...ප්‍රිය හිතවතුනි.ඔන්න ඔහොමයි මංතුමාට මංගල කරන්ට් එක වැදුනේ!
මදැයි කොලා! ලියන්න ගියෙ වෙන කතාවක්,ලියවුනේ වෙනම කතාවක් නොවැ!
එහෙන්ං අපි දෙවැනි කොටසෙන් හමුවෙමුකො.එතෙක් මතකයේ තබාගන්න "ඊලග කෑල්ල තවත් රසවත්"
ප.ලි.- මේ දවස්වල "කටුස්සා" පෙන්නට නැත.සමහරවිට ගජරාමෙට "ගල් කඩනවා"ද විය හැක.ඕකා මේක දැක්කොත් නැවතත් මට බනින්නේ "නොදකින් තෝ..ලස්සනට කියවගෙන යද්දි බාගෙට නවත්තනවා" කියාය.
Monday, October 5, 2015
කාලගුණයාගේ කැරැට්ටුව
කාලගුණයා හා දේශගුණයා යනුවෙන් පොරවල් දෙකකි.මං සූට්ටං කාලේ නං හිතුවේ උන් දෙන්නා නිවුන්නු කියාලාය.පස්සෙන් පහු එකම පියාට දාව ඉපදුනාට මුන් දෙන්නාගේ කිසිම ඇයි හොදයියක් එතරම් නැතිබැව් වැටහුනාය.දේසගුණයා යනු පලාතෙන් පලාතට වෙනස් ගුණ දරන පොරකි.ඒත් කාලගුණයාට කිසිම ලැජ්ජාවක් බයක් නැතිවාය.ඌ ඌට හිතුන දේ කරන කිසිම "අංගපුලාවකට නැති" එකෙකි.මේ හදිසියේ මට ඕකාව මතක් උනේ මේකය.මේ දවස්වල පාරට බැස්සොත් ජහමනයා කතා කොරන්නේ ඕකා ගැනය.කතාවට කියන්නේ අම්මාට පසු මේ ලෝකේ වැඩියෙන්ම බැනුම් අහන්නේ "අහස" කියාය.ඔය වටෙන් ගොඩෙන් කිව්වාට ඇත්තටම ඔය චෝදනාව එල්ලවන්නේ කාලගුණයාටය.මංතුමා මේ තකහනියක් කියන්ට යන්නේ ඕකා ගැන නොවේය.කාලගුණයාගේ කැරැට්ටුව හෙවත් "කාලගුණ වාර්තාව" ගැනය.
සීනිබෝල වැඩවලට සීනි අමාත්‍යාංශේ තිබුනා වගේ කාලගුණයා ගැන හොයන්න කාලගුණ අමාත්‍යංශේ..නෑ නෑ දෙපාර්තු
මේංතුවා සිටිනවාය.මං දන්නා හැටියට ඕකේ ඔලු ක්වාටස් එක තියෙන්නේ බුඩිස්ට් ලයිට් පාරේය.මංතුමා ඒක දන්නේ අහවල් දෙයක් හින්දා නොව එක එක සංමංත්‍රොන වලට බීඇමයිසීඇච් එකට යද්දී ඕඅක පේන හිංදාය.ඔය දෙපාර්තුමේන්තුවෙන් වෙන්නේ මෙහෙම දෙයක්ය.ඔය කාලගුණයා කාලෙන් කාලෙට කොටු පනින රටාව අදුනාගෙන ඒවා පරීස්සන කොරලා නිරීස්සන කොරලා නිගොමනය කොරලා මද්දිය වලට කියනා එකය.එතකොට රටේ ජහමනයාට තමන්ගේ වැඩ ටික ලස්සනට කොරගත හැක.ඉතිං ඒක රටේ ජහමනයාට පට්ට වැදගත් දෙයක් නිසා රටේ හැම මාද්දියක්ම පාහේ නිව්ස්වල අන්තිම ජුන්ඩට ඕකාගේ කැරැට්ටුව හෙලිකොරනවාය.කාලයක් තිස්සේ ඔය වැඩේ ලස්සනට කෙරීගෙන ගියාය.බට් අන්ෆොර්චුනෙට්ලි...., දෙපාට්ටුමෙට්ටුවට අපල කාලයක් උදාවිය.
එය කෙසේදයත්,කියන කියන මගුල කනපිට ගැසීමය.වහිනවා කිව්වොත් වහින්නේ නැතිවාය.හොදට පායනවා කියන දවසට හෙන ගගහා වහිනවාය.ඒ කියන්නේ අනාවැකි සත්තිය වීමේ ප්‍රතිශතය 100% විය.නමුත් ඒ අනිත් පැත්තටය.ඒ කියන්නේ -100% ය.අන්තිමේ දෙපාර්තුමේන්තුව කුට්ටමේ ජෝකර්ටත් අන්ත පහලට වැටුනාය.වහිනවා යැයි කියන දවසට මිනිස්සු ආතල් එකේ ඇබරැල්ලාවක්වත් නැතිව ගමන් කොරති,ගොයම් කපන්නට යති..මන්ද එදාට ලොවෙත් වහින්නේ නැතිබව දන්නා නිසාය.අන්තිමේදී මේ නවනිග්ගරහයෙන් ගැලවෙන්නට දෙපාර්තුමේංතුවේ උන්ට ගණදෙවි නුවණක් පහල උනාය.එදායින් පසු රිපෝට් එක දුන්නේ මෙසේය.
"හෙට දින දිවයිනේ තැනින් තැනට,උදෑසන හෝ සන්ධ්‍යා කාලයේ,ගිගුරුම් සහිත හෝ රහිත,වැසි ඇදහැලීමට "ඉඩ ඇත"."
මේක දැක්කවිට රටේ ජහමනයාට ඌරු ජුවල් නැග්ගාය.යකෝ මෙහෙම රෙපෝට් දෙන්න නම් දෙපාර්තුමේන්තුවක් අහවල් රෙද්දකටදැයි මගතොට කතාවන්නට විය.ඉස්සර කාලේ වගේ අහසේ වැහිලිහිණියන් දිහා බැලීමට හා කූඹි දිහා බලං හිටින්ට නිලදාරීං දෙන්නෙක් දැම්මනං සෑහෙන්න නිවැරදි අනාවැකියක් කියන්ට හැකියාව තිබ්බාය.අන්තිමේදී වෙදර් රෙපෝට් එක නිව්ස්වලින් ඉවත්වී ගිය අතර ඒ කාලයේ සුජීගේ සීන් එක එලියට ආවානම් ඌත් "ඔය දෙපාර්තුමේංතුව දීපන් ලමේකුට" කියා කියන්නට ඉඩ තිබුනාය.
නමුත් පසුකාලීනව නැවත ඔය කාලගුණයාගේ කැරැට්ටුව නිව්ස්වල ඉදිරිපත් කරනවා මංතුමා දැක්කේ හිරු ටීවී එකේය.ඒත් එහිදී ඒ සදහා යොදාගත් මූලාශ්‍රය උනේ The weather channel නැමැති වෙබ් අඩවියයි.එහිදී ඉතාමත් නිරවද්‍ය වූ අනාවැකි කීමට ඔවුන්ට හැකිවූ අතර එමගින් කාලගුණයාගෙ කැරැට්ටුව කෙරෙහි නැවතත් අවධානය යොමුවිය.එමෙන්ම ගතවූ වසර කීපය තුලදී කාලගුණ දෙපාර්තුමේන්තුවද "අලු ගසා දමා" නැගිටින සෙයියාවක් පෙන්නුම්කරන අතර මේ දිනවල නැවත නිවැරදි වාර්තා ලබාදී ජහමනයා අතර "විශ්වාසය" දිනාගැනීමේ පිලිවෙතකට අවතීර්ණ වී ඇතිවාය.ඉදින්...මේ දවස්වල විශේෂයෙන් බස්නාහිර පලාතට බලපා ඇති කාලගුණ විපර්යාස ගැන සත්‍ය තොරතුරු ලබාදී නැවතත් මිනිසුන් ආදරය කරන් ආයතනයක් බවට පත්වීමට ලැබේවායි, ෆීනික්ස් කුරුල්ලාට සුබ පතන්නෙමු!
**~නිහතමානී සතුටක් සමග 50වැනි පෝස්ටුව මෙසේ පබ්ලිශ් කල වගයි!~**
Subscribe to:
Posts (Atom)



