Wednesday, February 6, 2019

පත්වීම | An Appointment


වෙලාව දවල් දෙකත් පහුවෙලා. කර්කෂ අව්ව මැද්දෙ චූටි රෝස පාට කුඩෙත් ඉහලගෙන ශානි වැව පාර දිගේ හනි හනිකට ඇවිදගෙන ඇවිත් ⁣සේන මාමාලගෙ කඩුල්ල පැන්නෙ රටක් රාජ්ජයක් දිනුවා වගේ හැගීමකින්. ඉක්මන්ටම කාමරේ දොර ඇරගෙන ඇතුලට ආපු කෙල්ල බෑග් එකත් විසි කරගෙනම ඇදට පැන්නේ හරිම මහන්සියෙන්. ඉස්කෝලෙට චූටි ටීචර් කෙනෙක් උනාට මොකද කෙල්ල තාමත් පොඩි එකෙක් වගේ. දාඩිය, දූවිලි පිරුණු සාරිය ඇදන්ම ඇදට පැන්න ශානිගෙ චූටි කකුල් කකියන්න පටන් ගත්තා හොදටෝම. හැමදාම කිලෝමීටරයක් විතර දුරක්  වාහන යන්නැති පාරේ පයින් යන එන එකත් ලේසි පාසු වැඩක් නෙමෙයි නේද, කෙල්ලට ඒකෙ බරපතලකම දැනුනෙත් වැඩට යන්න එන්න ගත්තම...

මේක ශානිගෙ අලුත්ම රස්සාව. රස්සාව කිව්වට ඒක ඊටත් වැඩි දෙයක්. එයා පොඩි කිලෙ ඉදලම හීන මැව්වා ගුරුවරියක් වෙන්න. චුට්ටිම චුට්ටි කාලෙ අම්මගෙ සාරියක් පටලෝගෙන කෝටු කෑල්ලක් අරන් මෙලෝ දෙයක් තේරෙන්නැති නංගියටයි, කිසිම දෙයක් අහන්නැති දඩබ්බර මල්ලියාටයි මොන මොනවාදෝ උගන්නන්න හදපු හැටි මතක් වෙලා ශානිගෙ මූණට ලැජ්ජාවකුත් ආවා, හීන් හිනාවකුත් එක්ක. ඒත් ඉගෙනගෙන ඉවරවෙලා තමන්ගෙ මුල්ම පත්වීම විදියට හේනානිගල ඉස්කෝලෙට එන දවසෙ දැනුන තරම් සතුටක් එයාගෙ ජීවිතේ කවදාවත් තියෙන්න නැතුව ඇති. ඇයි පත්වීම් ලිපිය ගෙදරට ලැබුන දවස. අම්මයි,තාත්තයි,මල්ලියි, නංගියි එක්ක සතුට සමරන්න පොඩි රයිස් පාටියක් දාන්නත් එයා අමතක කලේ නෑ. එදා දවස පුරාම අම්මගෙ මූණෙ තිබ්බ සතුටු කදුලු, ඒවා මතක් වෙද්දිත් මහන්සිය කොහේ ගියාද නෑ...

ඇදෙන් නැගිටපු ශානි පුටුවෙ වාඩි වෙලා ජනෙල් කූරු අතරින් ඈත වැව දිහා බලාන ඉන්න පටන් ගත්තා. සීතල හුලගට හෙලවෙන කුඹුක් ගහයි වැවයි ඇහැට ගෙනාවේ හිත පුරෝලා යන තරම් ලස්සනක්. ඒ ටිකට හිත ආයෙමත් දුර යන්න පටන් අරන්. මේ මුරණ්ඩු හිතට එක තැනක ඉන්නට බැරි හැටියක්. උදේ පාන්දර සාරිය ඇදලා සුවද ගගහා පොඩිවුන් ලගට යනකොටම චූටි කෙල්ලො ටික ආදරෙන් තමන්ව පිළිගන්න දුවගෙන එන හැටි. සාරි පොටෙන් එල්ලි එල්ලි තමන්ට දවස පුරාම ආදරෙන් වද දෙන හැටි. නාහෙට අහන්නැති දඩබ්බර කොලු ගැටව් තමන් උගන්නද්දි තේරුණා වගේ සද්ද නැතිව පන්තියෙ ඉන්න හැටි. මේවා මතක් කරද්දි කෙල්ලට හොදටෝම හිනා. කොහොමහරි මහන්සිවෙලා ඉගෙනගෙන පොඩි කාලෙ හීනෙ හැබෑකරගන්න ලැබුනා කියලා දැනෙද්දි නම් මොන තරම් දුකක් පාලුවක් දැනුනත් ඊට වඩා ලොකු සතුටකින් ශානිගෙ හිත පිරීලා ගියා...

Thursday, December 27, 2018

ඇසිල්ලක් | Just a moment


දන්නවද,  මං කාගෙවත් ඔරලෝසුවක හිරවෙලා හිටිය කාලයක් තිබුනා. මං ඒ ඔරලෝසුවෙන් ඉල්ලුවා, මං වෙනුවෙන් වෙලාවක් දෙන්න කියලා. ඒත්, මොන කරුමයකද කියලා දන්නෙ නැ. මට හම්බුනෙ ඇබිංදං වෙලාවක විතරයි. ඒකත් දුන්න ගමන් මගෙන් ගන්නවා. ඒකෙන් වැඩ් වෙලාවක් වෙන්කරලා තිබුනෙ වෙන වෙන අය වෙනුවෙන්, වෙන වෙන දේවල් වෙනුවෙන්. ඉතිං, අන්තිමට මට සිද්දඋනා හිගාකන්න, වෙලාව වෙනුවෙන්. ඔව්, ඒත් මාව තඹ සතේකට ගනන් ගත්තෙ නැ. ඔරලෝසුවෙ කටු මං දිහා බලාන නක්කලේට වගේ හිනාවීගෙන මාව පහුකරන් යනව මට පෙනුනා. ඇත්තටම මං ඒ හැගීමට වෛර කලා. වෛර කලා. වෛර කලා...

ඔයාට දැනිලා තියෙනවද, ජීවිතේ සමහර දේවල් ආයෙ ආයෙත් රිපීට් වෙනව කියලා. මේ කරන දේවල් මේ සිද්දවෙන දේවල් අපිට කොයිම වෙලාවක හරි වෙච්ච සිදුවීමක් කියලා? ටිකක් විකාරයි වගේ තමයි, ඒත් සමහරවිට කාලය හරහා ආපස්සට ඇවිත් වෙන්නත් බැරි නෑ. මේ මනෝවිකාර ඔක්කොම එළියට එන්නෙ හෝ හෝ ගාලා රැල්ල වදිනව වගේ සිතුවිලි වලට ගලාගෙන එන්න ඉඩදුන්නම, මේ වගේ හැන්දෑවක මූදූ වෙරලෙ සුපුරුදු විදියටම ඈත ක්සිතිජය දිහා බලාන ඉන්නකොට...

දන්නවද, සෑහෙන කාලයකට පස්සෙ ආයෙමත් හිත පිරිලා ගිහින්. ඒකට ගොඩාක් ලොකු හේතුවක් තියෙනව. ඒ හේතුව දැන් මගෙ උරහිසට හේත්තු වෙලා ඉන්න ලස්සන... ඔව්, මං වෙනුවෙන් ලිමිට් එකක් දීලා නැති ආදරයක්. ඒ හීන්දෑරි සුන්දර සිරුර, වල ගැහුන කම්මුල්, රෝස පාට තොල්පෙති මාව උන්මත්තකයෙක් කලේ නෑ කිව්වොත්, මං වැරදියි. මාස ගානක් තිස්සෙ ඉරිතලලා තිබ්බ ජීවිතේ, දවසකින් දෙකකින් මේ තරමටම තෙත් වෙයි කියලා මං කවදාවත් හිතුවෙ නෑ.

සුද්දි
 - ම්... 
ඇයි මං එයාගෙ අතින් අල්ලද්දි, එයා ගොලු උනේ?
- ම්... එයාට පුදුම හිතුනලු, මොකක්ද මේ වෙන්න යන්නෙ කියලා.
ඉතිං, එයාට දැනුනලුද?
- ඔව්, නැතුව.
මොනවද?

මං ඈ දිහා බැලුවා. ඇගේ ඇස් දිලිහුනා විතරයි, වචන මොකුත්ම පිටවුනේ නෑ.

Wednesday, November 14, 2018

(අ) සම්මතය | The Atypical


තවත් වැහිබර හවසක්. රාජකාරි අහවර කරලා සීතල වතුරින් ඇගපත ‌තෙමාගෙන මං කැමතිම පුටුව අරගෙන ජනේලය ලගින් තියාගත්තේ එළියෙන් එන වැසි පුසුඹ ඉබින්න හිතාගෙනමයි. කෝපි කෝප්පයක් තොලගගා වීදුරු ජනේලයෙන් එලියෙ වැටෙන වැහිබිදු දිහා බලාන ඉදල ඉදල බැරිම තැන බුකිය පැත්තට ගොඩවැදුනෙ කම්මැලිකම යන්නත් එක්ක. වෝල් එක පුරාම පිරිලා ඉතිරිලා තිබුන දේශපාලන ‌‌කලබගෑනි පහුකරගෙන මං පහලට ආවා. අතරින් පතර තිබුන ගෑනු ලමයින්ගෙ පොටෝ ටිකත් හදිසියෙන් වගේ බලාන පහලට යන අතරමග එකපාරටම මවුස් එකෙන් අත ඈතට විසි උනේ කරන්ට් එක වැදිලා වගේ ෂොක් වෙලා. ඒක අතැගිලි දෙකක් එකිනෙක බැදුන පින්තූරයක්. ඒත් කොච්චර කාලයක් ගතවුනත් ඒ තඹපාට අතැගිලි අදුරගන්න මට බැරිකමක් තිබුනෙ නෑ. මගෙ පපුව දිගේ හීනියට රිදුමක් ගියේ මොකුත්ම හිතාගන්නවත් බැරිව. ඒක සතුටක්ද දුකක්ද කියලා හිතාගන්න මට සෑහෙන අමාරු උනා.

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ...

ඔව්, ඒක එක විදියක අසම්මත ආදරයක්. ඒත්, කවුද කියන්නෙ ආදරේ කරන්න සම්මත විදියක් තියෙනව කියලා. මෙහෙම කරන්නෝනි අරහෙම කරන්නෝනි කියලා. ඒක සාපේක්ෂයි, ඒ වගේම එකිනෙකාට වෙනස්. එහෙම වෙන්නම ඕනෙ. නැතිනං ඒක ඒක ඒකාකාරී වෙන්නැද්ද. ඔව්, එයා අක්කා කෙනෙක්. මට වඩා අවුරුදු ගානක් වැඩිමල්. ඒත් එහෙමයි කියලා, ඒ හුරතලේට.. ඒ දගකාරකමට ආදරේ කරන්න නොහිතෙන්නෙ කාටද? දන්නවද, මට එයාව හම්බුනේ හරිම අහම්බෙන්. හැමතිස්සෙම ලස්සන මතකයන් අපේ ජීවිතේට එන්නෙ කිසිම බලාපොරොත්තුවත්, දැනුම්දීමක් නැතිව. ඒත් මං කවමදාකවත් හිතුවෙ නෑ අපේ ඒ හමුවීම මට කවදාවත් අමතක නොවෙන මතකයක්, ජීවිතේටම දැනුන ලොකුම තෘප්තියක් එකතු කරාවි කියලා. ඇගේ තඹ පාට සිරුර, හීනි කටහඩ, මුදු මුදු ස්පර්ශය.. මාව මත් කරවාවි කියලා... ඒත් හොදට හෝ නරකට. ඒක එහෙම උනා. විනාඩි ගානක ඒ ඇසුර. මාව උන්මත්තකයෙක් කලා.


හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා
ඔබට විරහ ගිනි නොගෙනේවා...

දන්නවද, මං කොච්චර ඈට වශී උනාද කියලා. මං තීරණය කලා වයස පරතරය නොහිතා ඈව මගේම කරගන්න. මං හීන දකින්න පටන් ගත්තා හැම තත්පරයකදිම ඈ ගැන. ඒත් මොන සරදමකටද මන්දා මට ඈව හමුවෙන්න  පුලුවන් උනේ කිහිව වතාවක් විතරයි. ඒත් එහෙමයි කියල මං ඈ ගැන හීන දකින එක නං ‌නැවැත්තුවේ නෑ ‌පොඩ්ඩක්වත්. ඒත්, ‌‌කවදාහරි මට එයාව මගේම කරගන්න බැරි උනොත් එයාට ලස්සනට ‌කසාදයක් හරි කරලා ‌‌දෙන්න ඔනි කියන තැනට මගෙ ඔලුව වැඩ කරලා තිබුනා. ඒක ඒ තරම්ම ඔපන් ආදරයක්. මට ඒ හැම මතකයක්ම දැන් දැන් ආයෙමත් ඔලුවට ඇවිත් හිසරදයක් ‌වෙන්න පටන්ගත්තෙ ඇයි කියන එක මට තාමත් හිතාගන්න බෑ. ඒ ගැන හිත හිතම මං ඇදේ අනිත් පැත්තට හැරුණා. ඔව්, මං තාම ඒ අසම්මතේට ආදරේ කරනවා අප්‍මාණව. ඉතිං දුක් වෙන්නෙ මොකටද මම? ඈ සතුටින් නම්...


තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා...