meta content='text/html; charset=UTF-8' http-equiv='Content-Type'/> මලියගෙ සටහන මලියගෙ සටහන: ප්‍රේමය නම්

Monday, November 13, 2017

ප්‍රේමය නම්



ඒ සිකුරාදා දවසක්. තවත් සති අන්තයක ආරම්භයක්.සති අන්ත නිවාඩුව වෙනදා වගේම නිදහසේ ගත කරන්න හිතාන ඉක්මන්ටම ගමරට බලා යන්න බස් එකට ගොඩ උන මං ජනේල අයිනේ සීට් එක අල්ලගෙන එතනින් ඈදිගත්තා. හීනියට කඩං හැලෙන මහ වැස්ස කපාගෙන හූ හඩ දීගෙන යන බස් එකෙන් මට දැනුනා මාරම නිදහස් ගතියක්.ඒ වේගෙට මං ආදරේ කලා.පාරෙ තියෙන වාහන පහුකරගෙන යනහැටි කඩපේලි ඇසුරු සැනින් වීසිවෙන හැටි මං ආසාවෙන් බලාන හිටිය. මං ඒ අත්දැකීම වින්දේ සෑහෙන කාලෙකින්. ඩිස්ප්ලේ එක දිහා බලාන ඇස් ටොම්බ සයිස් කරන් ගෙවන ජීවිතේට මං වෛර කලා.

ක්‍රී...ස්.. බස් එක ගහපු බ්‍රේක් පාරට ජනේලේ දිගේ ගලාන ආපු මලකඩ පාට වතුර බිංදු දෙකක් නහයට වැටුනා. අඩි සද්ද වලින් දැනුන හැටියට දෙතුන් දෙනෙක්ම පස්ස දොරින් බස්එකට නැග්ග කියලයි මට හිතුනෙ.පිටිපස්සෙ සීට් එකේ ඉදං සීට් අස්සෙන් ඉස්සරහට ආපු කුඩයක් සීතල වතුර බිංදුත් එක්ක ඉස්සරහ යකඩ බාර් එක අල්ලගත්තා.ඒ කුඩේ අයිති අතත් සීතල වෙලා තෙත් වෙලා තිබුනෙ.අයිතිකාරයා කවුරු උනත් ඒ මූණ දිහා නොබලා ඉන්න මං හිතාගත්තෙ ලොකුකමටවත්, කුතුහලයන් නොමැතිකම හින්දවත් නෙමෙයි. මට ඕන උනා ඒ ලස්සන නිදහසේ විදින්න.ඒකට මූණවත්, හමේ පාටවත්, අඩුම ගානෙ කාගෙවත් අවසරයක්වත් අදාල වෙන්නෙ නෑ කියල මං විශ්වාස කලා...

ප්‍රභාමත් වූ වත මඬළ ඇත
තවුස් දැහැනක නිශ්චලත්වය
නයන යුග්මේ රැඳී ඇත්තේ
භාවනාවක කාන්තියයි

තවත් සතියකට දෙකකට විතර පස්සෙ, එදත් සිකුරාදාවක්.හැබැයි හොදටම ප්ලෑන් කරපු සිකුරාදාවක්.ඒ වෙලාවටම, ඒ බස් එකේම, ඒ සීට් එකම,එකම නැවතුම... ඒ ඇගිලි තුඩු දිහා මං බලාගෙන හිටියෙ හරිම පෙරේතකමකින්.ඇගිලි එච්චර දිග වෙන්නෙ කොහොමද කියලයි මං කල්පනා කලේ.මං ඒවා අතගෑවේ හරිම ආසාවෙන්.ඒත් එක්කම මට දැනුනෙ හා හා පුරා කියල ගෑල්ලමයෙක්ගෙ ඇගිලි ගෑවුනාම වැදුන කරන්ට් එක.මං එතනින් අදහස් කරන්නෙ නෑ මේක මගෙ පළවෙනි අත්දැකීම කියලා, ඒත් ඒක අන්තිම එක වෙනවනං මං ගොඩක් කැමති උනා.ඒක හරිම ලස්සන අත්දැකීමක්.ඒ හැගීම එන්නෙ කිසිම රාගයක් ගෑවිලාවත් නැති උනාම.පොඩිම පොඩි වෙලාවකට නන්දා මාලිනිය කියපු දේ ඇත්තක් කියල මට දැනුනා.

ප්‍රේමය නම් රාගයෙන් තොර
සඳ එළිය සේ අචින්ත්‍යයි
පාරිශුද්ධයි සුරම්‍යයි...

හැමදාමත් ඇගේ කිචිබිචිය අහන එක, රේඩියෝව අහන් ඉන්නවටත් වඩා පුරුද්දක් උනේ මටත් නොදැනිමයි. සද්ද නැතිව පාඩුවේ, පාලුවේ ඉන්න ජීවිතයකට අනිත් අයට එහෙම නොවුනත්, කචබචේ හරිම රොමෑන්තික කොටසක් උනා.හරියටම කියවනං ඇබ්බැහියක් උනා. වේලිච්ච මලකින් උනත් ගන්න බැරි තරම් මත්බවකින් ජීවිතේ වෙලාගත්තා.ඉතින් සිහිනයක් පමණක් බව දැනදැනත්, තව තවත් ඒ හීනෙම ගිලිලා ඉන්න මං ආස කළා.තවත් සිකුරාදාවක, පුරුදු විදිහටම බස් එක හූ හඩින් පාර පුරා යනව.ඈ ඔහේ කියවනවා.මං ආසාවෙන් ඒ දිහා බලාන ඉන්නවා.තවත් නැවතුමක, බස් එක නවතිනවා.කෙනෙක් බස් එකට නගිනවා.ආයෙමත් බස් එක අද්දනවා.හාලෝ.. කොහොමද? ආහ් මේ ඉන්නෙ ---. මේ දවස් ටිකේම හවසට යන්නේ මාත් එක්ක. ඉතිං, ඔයාලා දෙන්නා අදුරනවත් ඇතිනෙ.කතා කරගන්නකො!!!

දොඩන වදනින් ඇසෙයි නිරතුරු
වනන්තරයක සකුණ මියැසිය..
දෙතොල් අතරින් ගලා එන්නේ
ගීතිකාවක ශාන්තියයි...


6 comments: