Saturday, May 30, 2015

මැලේනා බඩුවක්ද?




කාලෙකට පස්සේ සම්භාව්‍ය ගණයේ චිත්‍රපටියක් රසවිදින්නට අත්දැකීමක් ලැබුනා.ඒ ඇසුරින් යන දෙයක් ගැන තමයි අද මං කතාකරන්න හිතුවේ.චිත්‍රපටයේ නම මැලේනා.මට මේක ලැබුනේ ලගකදි උනාට මේක බලපු කස්ටියනම් ඇති අනිවාර්යෙන්ම.මේක ඉස් ඉස්සෙල්ලම බලද්දි මට බලලා පුරුදු ගතියක් දැනුනා.පස්සෙයි මට මීටර් උනේ,මේ ෆිලුමේ වීඩියෝ එකක් එඩීට් කරලා ලස්සන සිංහල සින්දුවකට දාලා තිබුනා.මොකක්ද සින්දුවේ නම.....ආහ්..කැමීලියා මල් සුවදට.. මේක මැලේනා නම් සුරූපි යුවතියක් වටා ගෙතුන අපූරු කතාවක් වගේම සමාජ යථාර්තයක් ගැන කතිකාවතක් ඉදිරිපත් කිරීමක් විදියටත් හදුන්වන්න පුලුවන්.ඇත්තෙන්ම මං ලබා තියෙන සමාජ අත්දැකීම් අනුව 100% ක් ලංකාවට ගැලපෙන කතාවක්.

කතාවට පසුබිම් වෙන්නේ දෙවන ලෝක යුධ සමයේදී යුද්ධය නිසා අසරණවූ සුරූපි වැන්දඹුවකගේ ජීවන අරගලය සම්බන්ධ කතා පුවතක්.කතාව කියන්නේ නැතිව මට ඒ ගැන කතා කරන්න අමාරුයි වගේ.ඒ හින්දා කෙටියෙන් කියන්නම්.මේ මැලේනා කියන්නේ ජර්මානු යුධ හමුදා නිලධාරියෙක්ගේ අලුත බැදපු මනමාලී.එයා එයාගේ ගමේ ඉදන් ස්වාමියාගේ ගමට ඇවිත් ඉන්නේ.මැලේනාට තියෙනවා සුරූපී,පට්ට,සුපිරි,පිස්සු හැදෙන ලස්සනක්.දැක්කොත් ඕනෑම පිරිමියෙක් දෙවරක්,තෙවරක් නොව සිව්වරක් හෝ හැරී බලන තරම් ලස්සනයි.මේ අතරදි වයස අවුරුදු 16ක විතර පාසල් සිසුවෙක් මැලේනාට ආදරව කරන්නට පටන් ගන්නවා.මේක ඇවිල්ලා ඒක-පාර්ශවික,පරම පිවිතුරු හා අසම්මත ආදරයක්.
ටික කාලයක් යද්දි මැලේනාගේ ස්වාමියා යුද්ධයෙන් මියයනවා.ඒ සමගම මැලේනාට විවිධ කටකතා පැතිරෙන්නට පටන් ගන්නවා එයා අනාචාරයේ යෙදෙනවාය කියලා.නමුත් විහිලුවට කරුණ වන්නේ එසේ කියනා සෑම දෙනාම ඈ හට පැණි හැලීමයි.මේ අතරවාරයේ ඇය නිසා පවුල් ආරවුලක් ඇතිවුනා ඇයි පැමිණිල්ලකින් පසුව ඇය හට උසාවි යාමට සිදුවෙනවා.මෙහිදී ඇය නිදහස් උනත් ඇය වෙනුවෙන් පෙනී සිටි නීතීඥයාට ගෙවීමට තරම් මුදලක් ඇය සතුව පවතින්නේ නැහැ.මෙහිදී ඇයට වෙනත් ගෙවීමක් ලබාදීමට සිදුවෙනවා.මේ ආකාරයට මුදල් නොමැතිකම නිසා තමන්ට අවශ්‍ය ආහාර ලබාගැනීමට පවා මැලේනාට අනුන්ට යටත්වීමට සිදුවෙනවා.එතකොට අර පොඩි කොල්ලගේ ලව් එකට මොකදැයි වෙන්නේ.ඒකට උත්තරේ හොයාගන්න සම්පූර්ණ කතාවම බලන්න වෙනවා. 

දැන් බලමු මේ තත්වය ගැන, යුද්ධය...කුරුරු යුද්ධය නිසා ගැහැණියෙකුට විදින්නට සිදුවන සිදුවීම් සමයි මීට පුධාන වෙන්නේ.මෙරට තත්වයේත් කිසිම වෙනසක් නැහැ.වැන්දඹුවකට සමාජය (විශේෂයෙන්ම ආසියානු සමාජය) තුල හිමිවන සැලකීම ඉතාම අවම වීම නිසා ඇයටත් දරුණු යුද්ධයකට,ජීවන අරගලයකට මුහුණදීමට සිදුවෙනවා.මේකටත් මූලික සාධක 2ක් මං දකිනවා.ඒවා තමයි ආරක්ෂාව හා මුදල්‍.තමාට ආරක්ෂාව ලබාදුන්(නාමිකව හෝ) ස්වාමියා මිය ගිය පසු සමාජය ඒ දිහා බලන්නේ වපර ඇසින්.ඒකට හේතු කීපයක්ම තියෙනවා වගේම එම බලපෑම් වලින් මිදිලා ඉන්නටත් හැකියාවක් තියෙනවා  අනිත් සාධකය,එනම් මුදල් තියෙනවනම්.තම කුටුම්භයේ වියදම් සදහා වන මුදල් හිගවන තත්වයක් ඇතිඋවහොත් තමයි මුලින් සදහන් කල ආකාරයේ ගැටලු පැන නගින්නේ.නමුත් මුදල් කියන සාධකය නොමැති උවවහොත් ඇයට මුහුණදීමට සිදුවන්නේ ශෝචනීය ඉරණමකටයි.ඒ බව මෙම චිත්‍රපටය මගින් මනාව පැහැදිලි කර දෙනවා.ඉතින් අපිට තීරණය කරන්න වෙනවා වැරැද්ද කාගෙද කියලා...

Monday, May 25, 2015

ගරිල්ලා මාකටින් නැවත කියවීමක්(ද?)





මේ දවස් ටිකේම වේලි වේලි හිටපු මට ටිකක් අමුතු දෙයක් ගැන කතාකරන්න හිතුනා.ඒක අමුත්තක් වෙන්නේ වෙන කිසිවක් නිසා නෙමෙයි,සමාජයේ මේ ගැන කතාබහක්,කතිකාවක් සිදුවෙන්නේ නැති නිසා..හරිහමන් මාතෘකාවක් නැති මේ කතාවට පදනම් උනේ ගරිල්ලා මාකටින් සිනමාපටය...ම්...මෙහෙමයි,මං මෙහෙම පටන් ගන්නම්.අපි හැමෝටම ජීවිතයේ එක එක කාලවලදී විවිධ ප්‍රශ්න,ගැටලුවලට මුහුණදෙන්න සිදුවෙනවා.අධ්‍යාපනය,රැකියාව,පවුල් ජීවිතය,සල්ලි,අසනීප,අනතුරු,කරදර,.... වගේ ගොඩාක් දේවල්වලට මුහුණදෙන්න සිදුවෙනවා.එක අතකින් බැලුවොත් ජීවත් වෙනවා කියන්නෙත් ප්‍රශ්නවලට මුහුණදීම වගේ අර්ථකතනයක් දෙනනත් පුලුවන්.මේ දේවල්වලට අපි එකිනෙකා මුහුණදෙන ආකාරය එකිනෙකට වෙනස්..

ඒ මුහුණදෙන ආකාරය තීරණයකරන සාධක කීපයක් තියෙනවා.සමාජ මට්ටම,සිතන පතන ආකාරය,බාහිර බලපෑම් හා ඒවාට මුහුණදීමට ඇති ශක්තිය....වගේ ගොඩාක් දේවල් මත ඒක තීරණය වෙනවා.සරල උදාහරණයක් ගමු.හැමෝගෙම ජීවිතයට සම්බන්ධ දෙයක්,ආදරය..(වැදගත්-මං කතාකරන්න යන්නේ ආදරය ගැන විතරක් නෙමෙයි)ආදරයක් අහිමි උනාම අපි එකිනෙකා හැසිරෙන ආකාරය,ඒක දරාගන්න ඇති හැකියාව මත වෙනස් වෙනවා.සමහරු දිවිනසා ගන්නේත්,එසේ කිරීමට යත්න දරන්නේත්,නැතිනම් සදාකාලිකව තනිකඩ වීමට තීරණය කරන්නේත් ඒ සිතන පතන ආකාරය මතයි.

ටිකක් සබ්ජෙක්ට් එකෙන් පිට පැන්නා වගේ..ආයෙත් එමුකෝ.මම මුලින් කිව්වා වගේ කිසියම් සුලු කාරණයක් උනත්(ඒක තීරණය වෙන්නෙත් එකිනෙකාට සාපේක්ෂව) කිසියම් කෙනෙකුට දරාගන්න අමාරු වෙන්න පුලුවන්.හැමෝම එකවගේ නෙමෙයිනේ.(සමාජය ලස්සන වෙන්නෙත් ඒ හින්දමයි.අපි හැමෝම එකම විදිය උනානම් කිසිම විවිධත්වයක් නැතිවෙනවනේ!) ඉතින් මේ වගේ යම්කිසි දෙයක් කෙනෙකුට දරාගන්න බැරිඋනාම එයා ටිකක් වෙනස් වෙනවා.ඒ කියන්නේ සම්මතයෙන් පිට පනින්න උත්සාහ කරනවා(හෝ නොදැනුවත්වම වෙනවා) අපි සමහර වෙලාවට කියනවා එයාට පිස්සු කියලා.ඒත් ඒක එයාගේ වැරැද්දක් නෙමෙයි කියලයි මගේ අදහස.ඒක තනිකරම අපේ වැරැද්ද,අපි හරියට එයාව තේරුම් ගන්නේ නැතිකම‍.

ඒ විදියට වේදනාවකින් තනියම දුක් විදින කෙනාට උවමනා වෙන්නේ කාගෙහරි අවධානයක්,කරුණාවක් මිසක් තවතවත් එයාව ඉන්න තැනින් පහලට දාන එක නෙමෙයි.අවාසනාවට අද කාලේ ඒ වගේ කරුණාවන්ත,කාවවත් තේරුම්ගන්න පුලුවන් චරිත ඉන්නේ අතලොස්සයි..ඒ වගේ අය දෙතුන්දෙනෙක් පෞද්ගලිකව මගේ ජීවිතයේත් හමුවෙලා තියෙනවා මට‍.මේ වගේ වෙලාවකදි ඒ සදහා අදලා වෙන උත්තරේ හොයාගන්න එක තමයි මං හිතන්නේ අමාරුම දේ.මොකද පුද්ගලයගෙන් පුද්ගලයට ඒක වෙනස් වෙනවා.ඇත්තම කතාව තමයි ගොඩාක් වෙලාවට හරි උත්තරේ හොයාගන්න පුලුවන් වෙන්නේ තමන්ටමයි.ඒක වෙලාවකට ආදරය මගින් හදවත මෘදු කිරීම මගින් ‍මේ තත්වය සමනය වෙන්නත් පුලුවන්,නැතිනම් හදවත දෘඩ කිරීමෙන් සමනය කරන්නත් පුලුවන් වෙයි.ඉතින්..ඔහේ දුක් විදිනවට වඩා එක ක්‍රමයක් හොයාගෙන,ඒක පස්සේ යන එක තමයි කරන්න තියෙන හොදම දේ.එක්කෝ මැරෙයි,නැතිනම් ජීවත්වෙයි....

“Sometimes crying or laughing are the only options left, and laughing feels better right now.”
Veronica Roth, Divergent  
 

Saturday, May 23, 2015

දවසේ කරුමය හෙවත් පොලිස් පාට්




මං හා හා පුරා කියලා බයික් එකකින් පාරේ යන්න පටන් ගත්තේ 9වසරෙදි විතර .ඒ කාලෙ පියාගේ CD 90 න් ගම වටේම වගේම අහල ගම් 7ම රවුම් ගහල තියෙවා.ඒ වගේම වෙසක් එකට එහෙම විශේෂයෙන් වෙසක් ටුවර් ගම්පහ දිස්ත්‍රික්කය ආවරණය වන විදියටම ගිහින් තියෙනවා කිසිම ලයිසමක් නැතිව.මේ විදියට රවුම් ගහමු මගේ වාසනාවටද කොහේද ජීවිතේටම මාව පොලෝසියෙන් නවත්තලා නෑ.ඒ ලෙවල් කරන අන්තිම කාලෙ බයික් පික්සුවක් ගහල රටවටේ හොයලා, හොද එකක් ගන්න සල්ලිත් තිබ්බෙ නැති නිසා පොඩි ජොබ් කට්ටක් මාසයකටත් අඩු කාලයක් කරලා CD 90ක්ම ගත්තා.ඒත් ඒක ගොඩක් කාලයක් ගෙදරක තිබුන එකක් නිසා ලියකියවිලි තිබුනත් ලයිසන්,ඉන්ෂුවරන්ස් අලුත් කරලා තිබුනේ නෑ.බයිසිකලේ පොඩි පොඩි අඩුපාඩු හදන්න අතේ තිබුන සල්ලි වියදම් උන නිසා ඒවා අලුත් කරන එක ගැන වැඩිය හිතුවෙත් නෑ.මෙතනදි මතක් කරන්නම ඕන කෙනෙක් ඉන්නවා බයික් ගැන මෙලෝ සංසාරයක් දැනගෙන හිටියෙ නැති මට මගේ දඩුමොනරා අරගන්න එකේ ඉදං රිපෙයාර් කරන එකේ ඉදල හැම දෙයක්ම කියලා දුන්නේ අපේ රුකා.(කොච්චර සප් එකක් දුන්නද කියනවනම් හදාගන්න හදිස්සි වැඩිකමට එන්ජිම බාපු වෙලාවක ඒකෙ කෑලි හූරලා,හෝදලා එකඑක විකාර කරකර බාස්ට ගෝලයා උනෙත් ඌ තමයි)කොහොමහරි මාසෙකට විකර පස්සේ යංතං සල්ලි ටිකක් හොයාගෙන ඉන්ෂුරන්ස් එක නම් දාගත්තා.

ඉස්කොලෙන් අවුට් උනාට පස්සේ රියදුරු බලපත්‍රය ලබාගත්තට පස්සේ නම් රවුම් ගැහිලි වල සීමාවක් තිබුනේ නෑ.වේයන්ගොඩ,මිනුවන්ගොඩ,නිට්ටඹුව,මීරිගම,ගම්පහ,රාගම,වැලිසර,‍ගනේමුල්ල,කඩවත,දිවුලපිටිය,අත්තනගල්ල,....හැම රෙද්දකම වගේ රස්තා ගහන්න මගේ තනියට හිටියේ මගේ කෙලි පොඩ්ඩ තමයි.මෙච්චර කල් ලයිසන් නැතිව දුවපු මට හෙනහුරා සෙට්වෙන වැඩක් අද උනා.

අද උදේම මං මගේ පොඩි වැඩකට වතුපිටිවල ඉස්පිරිතාලෙට යන්න පිටත් උනා.ඒ වැඩෙත් කරගෙන එහෙම කාරිය දවල් 12ට විතර ආපසු එන්න පිටත් උනා.නිට්ටඹුව හරියෙදි විතර චූස් ගාලා හෝන් එකක් ගහලා පොලෝසියෙන් මාව අල්ලගත්තා.මං ඉතින් අයිනකට කරලා නවත්තලා කාරිය ලොක්කා ලගට ගියා.(හරිනම් පොලීසියෙන් වාහනය ලගට එන්න ඕන කියලා තමයි නීතිපොතේ තියෙන්නේ කියලා තමයි අපි අහලා තියෙන්නේ) ඔක්කොම ලියකියවිලි බැලුවට පස්සේ කිව්වා ලයිසන් අලුත් කරලා නෑ....අනම් මනම් කතා වගයක්.කේස් එක කියන්නේ අන්තිමට අලුත් කරලා තියෙන්නේ 2012දි,අවුරුදු 3ක ඇරියස් එකක්.මේකට නම් දඩ ගහන්න බෑ.උසාවි දාන්නයි වෙන්නේ කියලා කිව්වා.නයි කයිද රෝස් පාන් කිව්වලු.අතේ සතේ නැතිව රෝල ගහන් ඉන්න මේ දවස්වල උසාවි ගානේ රස්තියාදු වෙන්නයි,5000ක විතර ගෙවන්න ගියොත් කෙල වෙනවනේ.ඉතින් මං හිමීට ටෝක දැම්මා.දඩයක්වත් ලියලා දෙන්න කියලා..........සෑහෙන කතාබහකින් අනතුරුව මගේ අතට ලයිසන් එක දීලා ගියා.මං තැන්කූ පාරක් දාලා බයික් එක ලගට යනකොට අනිත් ඩයල් එක ආ‍යෙත් මට කතාකලා.අර සර්ට තේකක් බීලා යන්නවත් කීයක්හරි දීලා යනවා..මට දැන් පොඩ්ඩක් බයෙත් බෑ.මං හිමීට පොරගෙන් ඇහුවා සර්..කමක් නැද්ද සර්..මට බනීද දන්නේ නෑ කියලා.(ඇයි යකූ මුන් **** ගන්නවා කියලා අහල තිබුනට අල්ලස් දීමත් වැරැද්දක්නේ.මට ඇමතුවොත් එහෙම කියලා) මූ කියනවා ප්‍රශ්නයක් නෑ කීයක් හරි දීලා යන්න කියලා.මං ඉතින් ඇහුවා සෑර් කීයක් විතරද කියලා..අඩුගානේ 100ක්වත් දීලා යනවා කිව්වා.ඉතින් එතුමාගේ උපදෙස් පරිදි ලයිසන් එක අස්සට 100ක් දාලා ෂේප් එකේ ඒක අනිත් පොලිස් ලොක්කට දීලා එතනින් මාරු උනා.

ඔන්න ඊට පස්සේ කවදාවත් නැති බයක් හිතුන හින්දා ඒ ගමන්ම ගෙදර ගිහින් පොත අරගෙන ඇවිත් ග්‍රීන් ටෙස්ට් එක කරගත්තා.ඉස්සල්ලාම සැරේ බඩු ෆේල්.ඒ වෙලාවෙ පොඩි වැඩකට මීරිගමට යන්න තිබුන නිසා රිපෙයාර් කරන අදහස පෝස්ට්පෝන් කරලා කාරිය මීරිගම බලා පිටත් උනා.ඒ වැඩෙත් කරගෙන 3.30ට විතර ආයෙත් එහෙන් පිටත් වෙලා එනකොට කරුමෙ කියන්නේ මීරිගම ෆිල්ම් හෝල් එක ගාවදි ආයෙත් ඇල්ලුවා කියහන්කෝ,සෙද්ද.මේ සැරේනම් හරියන පාටක්වත් නෑ වගේ.ටෝක් කරලා කරලා,දුම් පරීක්ෂණ රිපෝට් එකත් පෙන්නලා එහෙම දඩයක් ගෙවන්න මං එකගඋනා.ඒ පාර මගේ ලයිසන් එකත් අරගෙන,අර ලයිසන් එක වෙනුවට දෙන කොලෙත් දීලා...රු 110ක දඩකොල 2ක් දුන්නා මට ඉක්මනට දැන්ම ගෙවාගෙන ව‍රෙන් කියලා.එකක් මට,අනිත් එක ති‍බුනෙ වෙන නමකට..මුන්ගෙ මොකක්හරි ගේමක් තමයි.ජීවිතේට දඩ කාලා නැති මට ඉතින් හෙන එක්ස්පීරියන්ස් එකක්.දඩේ ගෙවන්නේ කොහෙටද කියලවත් දන්නේ නැතිව හිටපු මං මගේ මිතුරාගේ උපදෙස් අනුව එවෙලෙම මීරිගම පෝස්ට් ඔෆීස් එකට ගොහින් මේ මගුල ගෙවලා ඉවර වෙලා ඒවා අයෙත් පොලිස්කාරයන්ට දීලා එවෙලෙම ලයිසන් එක ගත්තා.ඒ වෙලාවෙයි මං දැක්කෙ මට පස්සේ අල්ලපු එකෙක්ටත් අර වගේම දඩ කොල 2ක් දෙනවා වෙන එකෙක්ගෙ එකකුත් එක්ක.අපොයි දෙයියනේ,ඉදලා ඉදලා මං කාපු කට්ටක්.එදයින් පස්සෙනම් බයික් එකේ ඔක්කොම ලියකියවිලි හරියට හදාගන්නකම් ඒකට අත තියන්නෙවත් නෑ කියලා මං හිතාගත්තා.

ප.ලි// මුන් අල්ලස් ගන්නවා කියලා හැමතිස්සෙම බනින්නේත් අපිමය.නමුත් ඇල්ලූවිට කීයක් හරි අතමිට මොලවා පැනයන්නේද අපිමය...

Monday, May 18, 2015

හමුදාකාරයා Vs රණවිරුවා




ශ්‍රී ලංකාවේ දෙවන නිදහස් දිනය සැමරීමට කටයුතු ලහිලහියේ සූදානම් වෙමින් පවතින මෙවන් මොහොතක මෙරට ආරක්ෂක අංශ හා බැදුනු කතාවක් ඔබ බෙත ගෙනඒමට සිතුවෙමි.සොල්දාදුවා නැතිනම් හමුදාකාරයා කෙරෙහි මෙරට සමාජය තුල පැවතුනේ එතරම් ප්‍රසන්න හැගීමක් නෙමෙයි.ඒකට හේතු කීපයක්ම තිබුනා.පලවෙනි එක තමයි හමුදාකාරයන්ට ඇති අධ්‍යාපන සුදුසුකම් පිලිබදව ඇති හැගීම,සාමාන්‍යයෙන් බොහෝ පහල මට්ටමේ නිලධාරීන් නොවන සොල්ලාදුවන්ට ඇත්තේ 8 පාස් හෝ උපරිම සා/පෙ දක්වා වූ සුදුසුකම් පමණක් වීම එයට හේතුවයි.අනිකුත් හේතූන් වන්නේ සමාජයේ සිදුවූ විවිධ හොරකම්,පැහැරගැනීම්,කප්පම් සිද්ධීන් පමණක් නොව පාතාල කණ්ඩායම් අතර පවා පැනගිය හමුදා සෙබලුන් නිරතවී සිටීම.එමෙන්ම බාල වයස්කාර ගැහැනු ලමයින් අපචාර සිද්ධීන් සදහා යොදවා ගැනීම ආදී එකී නොකී සියලුම සිද්ධීන් මුලුමහක් හමුදා සේවයම අප්‍රසාදයට පත්කරන්නක් උනා.කොටින්ම කිවහොත් හමුදාකාරයන් යනු කිසිම හිතක්,පපුවක් නොමැති දරදඩු ජීවින් කොට්ඨාශයක් බවට සමාජය අතර මතයක් පැතිර ගියා.

මෙවන් තත්වයක පැවති මෙරට ආරක්ෂක අංශයන්ට නැවතත් වසන්තය උදාවූයේ 2008,2009 සමයේ පැවති අවසන් සටන් කාලසීමාවේදීයි.තිස් වසරක් මෙරට පැවති  බිහිසුණු යුද්ධය නිමාකිරීමට නායකත්වය ලබාදුන් මහින්ද රාජපක්ෂ මැතිතුමා (පසුකාලීනව යුධ ජයග්‍රහණය විකුණගෙන කෑම පිලිබද ජනතා අප්‍රසාදයට ලක්වුවත්) හා ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති හා සිවිල් ආරක්ෂක බලකාය ඇතුලු සියල්ලන්ගේම සහය ඇතිව ගෙනගිය අවසන් සටන කාලවකවානුවේ මෙරට ජනතාව අතර හමුදාකාරයන්,‍රණවිරුවන් බවට පත්කිරීමේ භාරධූර කාර්යභාර්යට මූලික වූයේ මෙරට ජනමාධ්‍ය බව කිවයුතුමයි.මුල්ම යුධ වාර්තාකරණය මගින් ජනතාව දැනුවත්කිරීමේ සමාජ මෙහෙවරට ආරම්භය ලබාදුන් ජාතික රූපවාහිනිය හා පසුව එයට සම්බන්ධ වූ මෙරට අනිකුත් ප්‍රධාන මාධ්‍යය විසින් සිදුකල එම මෙහෙවර මගින් මෙරට රණවිරුවාගේ ප්‍රතිරූපය ජනතාවගේ හදවත් තුල සදා නොමැකෙන සේ ‍කැටයම් කිරීමට සමත් උනා.2009 වසරේ යුද්ධය අවසන් උවත් රණවිරුවන් කෙරෙහි මෙරට ජනතාව දැක්වූ ගෞරවයට අබමල් රේණුකවත් හානියක් උනේ නෑ.

නමුත් පසුකාලීනව රජය මගින් රණවිරුවන් යොදාගෙන සිදුකලාවූ විවිධ කාර්යයන් නිසා රණවිරුවන්ගේ ගෞරවය දැඩි හානියට පත්වන්නට සිදුවුනා.බේබිලාගේ රේස් සදහා වැලි කොට්ට ඇදීමට හමුදා සෙබලුන් යොදාගැනීම,එලවලු විකිණීමට දැමීම,ටිකට්පත් විකිණීමට දැමීම,කාණු සුද්ධ කිරීමට යෙදවීම,පාරවල් අතුගෑමට දැමීම ආදිය එයට නිදසුන්.මගේ පෞද්ගලික අත්දැකීමක් කියන්නම්..

දිනක් පන්ති නිමවී දහවල් 12ට පමන ගම්පහ දුම්රිය ස්ථානය අසල ගාඩර් එක හරහා යනවිට යුධ හමුදා සෙබලෙක් නිල ඇදුම පිටින්ම මොකක්ද ටිකට් එකක් විකුණනවා දුක කියකිය.අ‍නේ මල්ලි ටිකට් එකක් ගෙන්නකෝ,නංගි ප්ලීස් ටිකට් එකක් ගන්න කියකිය.ඇත්තටම අපිට ඒ වෙලාව් නම් පුදුම තරහක් ආවේ..ඌ ගැන නෙමෙයි,ඒකට යෙදවපු උන් ගැන.වේ* බල්ලෝ.දකින අපිට එහෙමනම් ඒ කට්ට කන උන්ට කෙහොම ඇතිද??? යුද්දේ කලේ මං කියකිය තනියම කෑ ගහන *ක්කු කරපු මේ කැ* වැඩවලට තමයි ජනතාව උත්තර දුන්නේ.

කොහොම උනත් දැනුවත් ආකාරයට නම් දැන් තත්වය යහපත් අතරට හැරිලා,ආණ්ඩු පෙරලියෙන් පස්සේ.කෙනෙකුට තර්ක කරන්න පුලුවන් කම්කරු වැඩ කරන අය හමුදාවේ නැද්ද කියලා.ඒකට උත්තරෙ තමයි,ඉන්නවා.ඒත් කෑම්ප් වල මිසක් සිවිල් සමාජයේ නෙමෙයි.දැන් යුධ කටයුතු නැති නිසා හමුදාව සෘජුවම වගේ නිෂ්පාදන හා සේවා කටයුතුවලට සම්බන්ධ වෙලා තියෙන්නේ.ඒ සදහා ඉන්නවා ටෙක්නීෂියන්ලා,කම්කරුවන්,සේවකයක් වගේ අය.ඒ අය ඒ වැඩ කරන්නේ කෑම්ප් ඇතුලට වෙලා රැකියාව විදියට.සිවිල් සමාජයට ආවම නිලඇදුම ඇදගෙන අභිමානවත් ලෙස ජීවත් වෙනවා.