Showing posts with label අාදර කතා. Show all posts
Showing posts with label අාදර කතා. Show all posts

Monday, January 31, 2022

එකම එක හදවතක්! | A heart only for you



මං ඈට දුන්නෙ රෝස මලක්වත්, චොකලට් එකක්වත් නෙමෙයි. පෑනක්!
ඒත් ඈ ඒකට ගොඩක් ආස උනා. 
ඈ ආසාවෙන් ඒක අරගෙන අතේ මොන මොනවාදෝ කුරුටු ගෑවා.

"තුඩ හීනි පෑනක්! මං හරි ආසයි ඒවට. 'සැහැල්ලුවෙන්' ලියන්න පුලුවන්."

ඈ කීවෙ එහෙම. මම එයා දිහා බලාගෙන හිනාවුනා. යන්තමට වගේ.
එයාත් මගෙ ඇස් දිහා බැලුවා. 

ඔය ඉතිං...!
-ටෙලිපතිද? 

මං ඇහුවෙ මේ තරම් ඉක්මන්ට හිත් කියවන්න ඈට මා තරම්වත් මට ඈ තරම්වත් වෙන කවුරුවත් කවදාවත් නොසිටි බවත්, කවදාවත් නොසිටින බවත් හොදටෝම දැනගෙන...

*********************************

කිලෝමීටර් සියගණනක් යතුරුපැදිය එක හුස්මට පැදගෙන ආපු මම වේගය හොදටෝම අඩුකරලා පාර අයිනෙ ‌හෙවනක නැවැත්තුවෙ පැය ගාණක මහන්සිය නිවන්න හිතාගෙන. කකුල් දෙකයි පස්සයි හොදටම රිදෙන හින්දා බයික් එකෙන් බැහැලා මං කකුලට පොඩි එක්සයිස් එකක් දෙන්න පටන්ගත්තා.
ඒත් එක්කම කෝල් එකක්! හිතපු නැති වෙලාවක හිතපු නැති කෙනෙක්ගෙන්.

අයියේ!
-ම්...
මොකද කරන්නෙ? 
-පාරෙ ඉන්නෙ මං
පාරට වෙලා මොකද කරන්නෙ
-මතක අහුලනවා
ඇයි පාරේ? මතක අහුලන්න යන්න අපේ ලිෆ්ට් එක ලගට, ස්ටෙයාක‌ේස් එකට... 
ඈ කිව්වෙ හරිම රොමෑන්තික විදියට.

-මට ඔනෙ මතක හදන්න. මං උත්තර දුන්නා.
ඒ කොහොමද?

එක පාරටම ඈ වීඩියෝ කෝල් එකක් ගත්තා. 
කොහෙද යන්නෙ?
-දිග... ගමනක්! කිලෝමීටර් සියගාණක් ඈතට.
මට කියන්න බැරි ගමනක්ද? ඒක අහපු විදියට මගෙ පපුව පිච්චිලා ගියා.
මං තත්පර කීපයක් ගොලු උනා.

-මං කියන්නෙ නෑ ඔයාට. ඒත් දැනෙන්න දෙන්නම්.
ඒ කොහොමද?

මං හිනාවුනා විතරයි. මං හිනාවුනා...

                                                      *********************************

මං හෙල්මට් එක ගැලෙව්වා. ඈ මං දිහා කට ඇරගෙන බලාන හිටියා. 
ඒක අපේ ඇගිලි තුඩු පලමුවරට වැදුනම ආපු කරන්ට් එක වගේ තිස් තුන්දාස් ගුණයට වැඩි මිසක් අඩු නොවන විත්තිය විතරයි මං දැනං හිටියෙ. ඒ තරමට ඒ කෙල්ල ‌ශොක් වෙලා හිටියෙ.

"පිස්සුද?" මූණට ආපු ‌එළිය හං‌ගගෙන නපුරු මූණක් බලෙන් හදාගෙන ඈ කිව්වා.
-ඔයා දන්නවනෙ!
"හොදටම පිස්සු!"
මෙච්චර වෙලාවක් තදකරන් හිටපු නපුරු මූණ කඩාගෙන සන්තෝසයයි, ලැජ්ජාවයි මික්ස් වෙච්ච ලස්සනම මූණක් මං ඒ වෙලාවෙ දැක්කා. තාමත් මට ඒක මැවිලා පේන තරමට ඒක මගෙ මතකයට වැදුනා.




Sunday, March 10, 2019

අනූට පිළිතුරක්! | Answer for Anu



දැරුවත් යත්න
හදුනාදෙන්නට නුඹට
රිදෙන බව මට
වැරදි බව නුඹ
ඉනි මිටක් විය එය
ගගට කැපූ
ඒදා ‌‌මෙන් අදත්
සිදවූයේ 
ඒකම ‌දෙයකි
පිළිගත්තා පමණකි
අවසන
වැරදි බව නුඹ
නමුදු, ඒදත් අදත්
නොදැරුවත් යත්න
ගන්නට හරිමගට
කරන්නට කැපකිරීමක්
බැරිම තැන
තවත් වදවෙන්නේ කුමට
කැපකිරීමක් ‌නොමැති
අකුරකට පමණක් සීමා වූ
නුඹේ හිස්
ආදරයට...


Wednesday, February 6, 2019

පත්වීම | An Appointment


වෙලාව දවල් දෙකත් පහුවෙලා. කර්කෂ අව්ව මැද්දෙ චූටි රෝස පාට කුඩෙත් ඉහලගෙන ශානි වැව පාර දිගේ හනි හනිකට ඇවිදගෙන ඇවිත් ⁣සේන මාමාලගෙ කඩුල්ල පැන්නෙ රටක් රාජ්ජයක් දිනුවා වගේ හැගීමකින්. ඉක්මන්ටම කාමරේ දොර ඇරගෙන ඇතුලට ආපු කෙල්ල බෑග් එකත් විසි කරගෙනම ඇදට පැන්නේ හරිම මහන්සියෙන්. ඉස්කෝලෙට චූටි ටීචර් කෙනෙක් උනාට මොකද කෙල්ල තාමත් පොඩි එකෙක් වගේ. දාඩිය, දූවිලි පිරුණු සාරිය ඇදන්ම ඇදට පැන්න ශානිගෙ චූටි කකුල් කකියන්න පටන් ගත්තා හොදටෝම. හැමදාම කිලෝමීටරයක් විතර දුරක්  වාහන යන්නැති පාරේ පයින් යන එන එකත් ලේසි පාසු වැඩක් නෙමෙයි නේද, කෙල්ලට ඒකෙ බරපතලකම දැනුනෙත් වැඩට යන්න එන්න ගත්තම...

මේක ශානිගෙ අලුත්ම රස්සාව. රස්සාව කිව්වට ඒක ඊටත් වැඩි දෙයක්. එයා පොඩි කිලෙ ඉදලම හීන මැව්වා ගුරුවරියක් වෙන්න. චුට්ටිම චුට්ටි කාලෙ අම්මගෙ සාරියක් පටලෝගෙන කෝටු කෑල්ලක් අරන් මෙලෝ දෙයක් තේරෙන්නැති නංගියටයි, කිසිම දෙයක් අහන්නැති දඩබ්බර මල්ලියාටයි මොන මොනවාදෝ උගන්නන්න හදපු හැටි මතක් වෙලා ශානිගෙ මූණට ලැජ්ජාවකුත් ආවා, හීන් හිනාවකුත් එක්ක. ඒත් ඉගෙනගෙන ඉවරවෙලා තමන්ගෙ මුල්ම පත්වීම විදියට හේනානිගල ඉස්කෝලෙට එන දවසෙ දැනුන තරම් සතුටක් එයාගෙ ජීවිතේ කවදාවත් තියෙන්න නැතුව ඇති. ඇයි පත්වීම් ලිපිය ගෙදරට ලැබුන දවස. අම්මයි,තාත්තයි,මල්ලියි, නංගියි එක්ක සතුට සමරන්න පොඩි රයිස් පාටියක් දාන්නත් එයා අමතක කලේ නෑ. එදා දවස පුරාම අම්මගෙ මූණෙ තිබ්බ සතුටු කදුලු, ඒවා මතක් වෙද්දිත් මහන්සිය කොහේ ගියාද නෑ...

ඇදෙන් නැගිටපු ශානි පුටුවෙ වාඩි වෙලා ජනෙල් කූරු අතරින් ඈත වැව දිහා බලාන ඉන්න පටන් ගත්තා. සීතල හුලගට හෙලවෙන කුඹුක් ගහයි වැවයි ඇහැට ගෙනාවේ හිත පුරෝලා යන තරම් ලස්සනක්. ඒ ටිකට හිත ආයෙමත් දුර යන්න පටන් අරන්. මේ මුරණ්ඩු හිතට එක තැනක ඉන්නට බැරි හැටියක්. උදේ පාන්දර සාරිය ඇදලා සුවද ගගහා පොඩිවුන් ලගට යනකොටම චූටි කෙල්ලො ටික ආදරෙන් තමන්ව පිළිගන්න දුවගෙන එන හැටි. සාරි පොටෙන් එල්ලි එල්ලි තමන්ට දවස පුරාම ආදරෙන් වද දෙන හැටි. නාහෙට අහන්නැති දඩබ්බර කොලු ගැටව් තමන් උගන්නද්දි තේරුණා වගේ සද්ද නැතිව පන්තියෙ ඉන්න හැටි. මේවා මතක් කරද්දි කෙල්ලට හොදටෝම හිනා. කොහොමහරි මහන්සිවෙලා ඉගෙනගෙන පොඩි කාලෙ හීනෙ හැබෑකරගන්න ලැබුනා කියලා දැනෙද්දි නම් මොන තරම් දුකක් පාලුවක් දැනුනත් ඊට වඩා ලොකු සතුටකින් ශානිගෙ හිත පිරීලා ගියා...

Wednesday, November 14, 2018

(අ) සම්මතය | The Atypical


තවත් වැහිබර හවසක්. රාජකාරි අහවර කරලා සීතල වතුරින් ඇගපත ‌තෙමාගෙන මං කැමතිම පුටුව අරගෙන ජනේලය ලගින් තියාගත්තේ එළියෙන් එන වැසි පුසුඹ ඉබින්න හිතාගෙනමයි. කෝපි කෝප්පයක් තොලගගා වීදුරු ජනේලයෙන් එලියෙ වැටෙන වැහිබිදු දිහා බලාන ඉදල ඉදල බැරිම තැන බුකිය පැත්තට ගොඩවැදුනෙ කම්මැලිකම යන්නත් එක්ක. වෝල් එක පුරාම පිරිලා ඉතිරිලා තිබුන දේශපාලන ‌‌කලබගෑනි පහුකරගෙන මං පහලට ආවා. අතරින් පතර තිබුන ගෑනු ලමයින්ගෙ පොටෝ ටිකත් හදිසියෙන් වගේ බලාන පහලට යන අතරමග එකපාරටම මවුස් එකෙන් අත ඈතට විසි උනේ කරන්ට් එක වැදිලා වගේ ෂොක් වෙලා. ඒක අතැගිලි දෙකක් එකිනෙක බැදුන පින්තූරයක්. ඒත් කොච්චර කාලයක් ගතවුනත් ඒ තඹපාට අතැගිලි අදුරගන්න මට බැරිකමක් තිබුනෙ නෑ. මගෙ පපුව දිගේ හීනියට රිදුමක් ගියේ මොකුත්ම හිතාගන්නවත් බැරිව. ඒක සතුටක්ද දුකක්ද කියලා හිතාගන්න මට සෑහෙන අමාරු උනා.

විකසිත පෙම් පොකුරු පියුම්
ඔබේ පයට පොඩි වී ගියාදෙන්
පතිකුලයට අද මට පිටුපා යන
මගේ සොඳුරු ළඳුනේ
මගේ සොඳුරු ළඳුනේ...

ඔව්, ඒක එක විදියක අසම්මත ආදරයක්. ඒත්, කවුද කියන්නෙ ආදරේ කරන්න සම්මත විදියක් තියෙනව කියලා. මෙහෙම කරන්නෝනි අරහෙම කරන්නෝනි කියලා. ඒක සාපේක්ෂයි, ඒ වගේම එකිනෙකාට වෙනස්. එහෙම වෙන්නම ඕනෙ. නැතිනං ඒක ඒක ඒකාකාරී වෙන්නැද්ද. ඔව්, එයා අක්කා කෙනෙක්. මට වඩා අවුරුදු ගානක් වැඩිමල්. ඒත් එහෙමයි කියලා, ඒ හුරතලේට.. ඒ දගකාරකමට ආදරේ කරන්න නොහිතෙන්නෙ කාටද? දන්නවද, මට එයාව හම්බුනේ හරිම අහම්බෙන්. හැමතිස්සෙම ලස්සන මතකයන් අපේ ජීවිතේට එන්නෙ කිසිම බලාපොරොත්තුවත්, දැනුම්දීමක් නැතිව. ඒත් මං කවමදාකවත් හිතුවෙ නෑ අපේ ඒ හමුවීම මට කවදාවත් අමතක නොවෙන මතකයක්, ජීවිතේටම දැනුන ලොකුම තෘප්තියක් එකතු කරාවි කියලා. ඇගේ තඹ පාට සිරුර, හීනි කටහඩ, මුදු මුදු ස්පර්ශය.. මාව මත් කරවාවි කියලා... ඒත් හොදට හෝ නරකට. ඒක එහෙම උනා. විනාඩි ගානක ඒ ඇසුර. මාව උන්මත්තකයෙක් කලා.


හිතේ කඳුළු බිඳු රෑ තනි යහනේ
ඉහ ඉද්දර හිඳ ඉකි බිඳිනා සඳ
ආදර සැමරුම් ප්‍රේම පුරාණේ
ඔබට විරහ ගිනි නොගෙනේවා
ඔබට විරහ ගිනි නොගෙනේවා...

දන්නවද, මං කොච්චර ඈට වශී උනාද කියලා. මං තීරණය කලා වයස පරතරය නොහිතා ඈව මගේම කරගන්න. මං හීන දකින්න පටන් ගත්තා හැම තත්පරයකදිම ඈ ගැන. ඒත් මොන සරදමකටද මන්දා මට ඈව හමුවෙන්න  පුලුවන් උනේ කිහිව වතාවක් විතරයි. ඒත් එහෙමයි කියල මං ඈ ගැන හීන දකින එක නං ‌නැවැත්තුවේ නෑ ‌පොඩ්ඩක්වත්. ඒත්, ‌‌කවදාහරි මට එයාව මගේම කරගන්න බැරි උනොත් එයාට ලස්සනට ‌කසාදයක් හරි කරලා ‌‌දෙන්න ඔනි කියන තැනට මගෙ ඔලුව වැඩ කරලා තිබුනා. ඒක ඒ තරම්ම ඔපන් ආදරයක්. මට ඒ හැම මතකයක්ම දැන් දැන් ආයෙමත් ඔලුවට ඇවිත් හිසරදයක් ‌වෙන්න පටන්ගත්තෙ ඇයි කියන එක මට තාමත් හිතාගන්න බෑ. ඒ ගැන හිත හිතම මං ඇදේ අනිත් පැත්තට හැරුණා. ඔව්, මං තාම ඒ අසම්මතේට ආදරේ කරනවා අප්‍මාණව. ඉතිං දුක් වෙන්නෙ මොකටද මම? ඈ සතුටින් නම්...


තනිකම රජයන පාලු විමානේ
ගොම්මන් කළුවර හඬා වැටෙද්දී
ඔබ දිවි අරණේ රුවන් විජිතයේ
මැණික් පහන් වැට දැල්වේවා
මැණික් පහන් වැට දැල්වේවා...


Friday, October 12, 2018

රෝස මලට කියනවාද?


මං ඒක දැක්කෙ අහම්බෙන් වගේ... කවුරු හරි පාගලා, පොඩිකරලා, විසි කරලා දාලා තිබුන මලක්. ඔව්.. රතු රෝස මලක්. හැමතැනම තැලිලා, පොඩිවෙලා තිබුනෙ. ඒත් මට ඒක දැක්කට පස්සෙ අහක බලාගෙන යන්න හිතුනෙම නෑ. ඒ් කියලා මට ඒකට බෙහෙත් කරන්න වෙලාවක් තිබුනෙ නැති බවත් ඇත්ත.  ඒත් මං හිතුවා, මොන වැඩේ තිබුනත් ඒ වෙනුවෙන් වෙලාවක් හදාගන්න. ලස්සනට සාත්තු සප්පායම් කරලා ආදරෙන් බලාගන්න. ඉතිං... මං හිමීට ඒ මල අතට ගත්තා, හීනියට තිබුන නටුවෙන් කටුත් ගිලිහිලා තිබුනෙ. ඒ තරමට විනාස වෙලා. ඉතින් ඒ කටුවලට හයිය හත්තිය ඉතුරුවෙලා තිබුනෙ නෑ, මගෙ ඇගිලි තුඩුවලට රිද්දන්න තරම්... ඒ තරමට දුර්වල වෙලා ඒ "රෝස මල".

මල වටකර පෙති සැදුනේ
පෙති රකින්න නම්
තරහ ගන්නෙ කොහොමද
අතු ඉතිත් එක්ක මං...

කාලය වේගයෙන් ගතවෙලා ගියා. ඒ රෝස මල දැන් හරිම ශක්තිමත්. නටුවත් එහෙමයි. ඒත් ඒක තියෙන්නෙ තාමත් මං ලග. චූටිම චූටි ලස්සන පෝච්චියක. අව්වට වැස්සට සුළගට අහු නොවුනාමත් නෙමයි. ඒත් ඒ හැම දෙකින්ම තව තවත් ලස්සන උනා ඒක. මාත් ගොඩාක් ලොකුවට ට්‍රයි කලා ඒක පරිස්සම් කරන්න. ඒත් සමහර වෙලාවට ඒකට මදි උනා මං දුන්න සීමිත ඉඩකඩ. ඒ රෝස පැලේට ඔන උනා ඉර පැත්තට ඇදීලා යන්න. අවට පෝච්චිවල තියෙන අනිත් පැල එක්ක හරි හරියට තරග කරන්න. මං පැත්තක ඉදගෙන ඒ දිහා ගොඩාරියක් බලාන හිටියා. තව තවත් ට්‍රයි කලා පරිස්සම් කරන්න. එහෙම කරන්න හදපු වෙලාවට මගේ අත කටුවලින් හූරන්නත් නටුව අමතක කලේ නෑ. හීනි නහර පලාගෙන ලේ එන්න ගන්නකොට මං ඉවසගෙන හිටියෙ හරිම වේදනාවෙන්.

මගෙ සොහොනට ආවොත් ඈ
අවසර විගසින්
කියන්න මා‌ පෙම් කළ බව
රෝස ගහ තරම්...

කොච්චර ලස්සන උනත් රෝසිට කවදාවත් වෙනස් කරගන්න බැරි පුරුද්දක් තිබුනා. එයාට වතුර නැති වුනත්, පස සවුත්තු වුනත්, හුළග දරාගන්න බැරි වුනත්... අඩුම තරමෙ මොනම හරි දෙයක් වුනොත් ඇකිලෙන පුරුද්දක්. හරියට නිදිකුම්බා මලක් වගේ. හැම දේටම "උත්තරයක් නොවුනු, ඒ වගේම කවදාවත් හරි උත්තරයක් නොවෙන" උත්තරයක් තිබුනා. ඒක හරිම අස්වාභාවිකයි වගේම අනතුරුදායකයි. ඒ ඇකිලෙන හැම සැරේම නටුවෙන් කටු විහිදෙන්න ගත්තා,විසිරෙන්න ගත්තා. ඒ හැම සැරේම ලග පාතක තිබුන රුධිර නාල වලින් රුහිරේ වෑහෙන්න ගත්තා. අතපය දරුණු විදියට හීරෙන්න ගත්තා. මං එක්ස්පෙරිමන්ට් කරන්න ගත්තා, ඒ ඇකිලෙන එක නවත්තන්න විදියක් හොයාගන්න, මොකද කවදාවත් අව් වැසි හුලං නවත්තන්නට මට බැරි බව හොදින්ම දන්නා නිසා. අඩුගානේ ඒවායින් ආවරණය වෙන්න, ඒවට උත්තර හොයන්න විදියක් එයාටම හදාගන්න දෙන්න.

දන්නවද, ලෝකෙ තියෙන හොදම සම්මතය"සුදු කොඩිය". මට මිහිතලේ එක්ක කතා කරන්න බැරි උනාට ඒකෙම කොටසකට පුලුවන් වෙන්නම ඔනෙ කතාකරන්න- කතා කරලා විසදගන්න. මට පුලුවන් සුදු කොඩියක් වෙන්න විතරමයි. ඉතිං මං මාස ගානක් නැවත නැවත කිව්වා රෝසිට, ඇකිලෙන එක නවත්තන්න කියලා- ලේ පෙරෙන අත පෙන්නලා... ඒත්, කවදාවත් ඒක වැඩක් උනේ නෑ... අන්තිමට, මට සිද්ධ වුනා ඉඩදෙන්න, වගෙම පිලිගන්න... කවදාවත් ස්වභාව ධර්මය වෙනස් කරන්න බෑ කියලා.

රෝස මලට කියනවාද
මා මියගිය බව
කියන්නෙපා රෝස ගහේ
කටු විස වුනු වග...

Thursday, July 12, 2018

දරු පැටියෙක්!


මට දරු පැටියෙක් ඔනෙ!
- මේ දැන්?
දැන් නෙමෙයි මැට්ට‌ො, බැදපු ගමන්ම
- දෙන්නංකෝ පෝලිමක්ම,  පඩිපෙල වගේ
මං හිනාවුනා...

- තමුසෙ කොහෙද මෙච්චරකල් හිටියේ?
- මොන රෙද්දක් කලාද අතුරුදහන් වෙලා.
මං බැනගෙන බැනගෙන ගියේ ලොකුම ආවේගයකින්. ඒක ඇතුලේ හීනියට සතුටකුත් නොතිබුනා නෙමෙයි.
අඩුගානෙ ආයෙත් සැරයක් එයාව දකින්න ලැබුන නිසා. මං විනාඩි කීපයක් තිස්සේ ඈට බැන්නත් එයා සද්දයක්වත් කලේ නෑ, අහිංසක ඇස් දෙක තෙත් කරගෙන මං දිහා බලාන ඉන්න එක ඇරෙන්න.

අයිය‌ේ! අන්තිමට ඈ කතාකරන්න ගත්තා
- ම්....
මං ඔයාගෙන ඈත් වුනේ හේතුවක් තියෙන නිසා
- හැම කෙල්ලම කියන්නේ ඒක තමයි, මං අමුතු හිනාවක් දාලා කිව්වා
නෑ, මං අනිත් අය වගේ නෙමෙයි,
මං හැමදේම කියන්නම්, ඈ පොරොන්දු වුනා.

 මං ඈත ආකාහෙ දිහා ආයෙමත් බලන් හිටියා. අද වලාකුළු හරිම නිශ්චලයි, පාවෙන්න කම්මැලි කමටද... නැත්නම් ඒවාත් කම්පා වෙලාද? මගෙ පපුව වගේ!

මං ආයෙමත් දුම් උගුරක් කටේ පුරවගත්තා. මේ වගේ කම්පනයක් දරාගන්න නොමල් නිකොටින් දුමකට කොහොමත්ම බෑ. ඒකට ඊටත් වඩා ගැඹුරකට යන්න පුලුවන් වෙන්නම ඔනෙ. ඇග ඇතුලට හීනයට දාගත්ත ඒ දුම් උගුර මාවම පුච්චගෙන ගියෙ වේදනාව දෙගුණ තෙගුණ කරමින්. ඒක හරියට ඈ අවුරුදු ගානක් වින්ද දුක එක සැරේ ඇගෙන් හොරාගන්නවා වගේ වැඩක්.

ඔයා හොදටම දැනන් හිටියා, මං දරු පැටියෙක්ට කොච්චර ආස කාලද කියලා
- ඉතින්?
මට ඒ වාසනාව නෑ අයියේ,
- ඔයා කොහොමද දැන්ම එහෙම කියන්නෙ
මං දන්නවා, මට ඩොක්ට කිව්වා
- බය වෙන්නෙපා අපි මොකක් හරි විදියක් බලමු ඉතින්,
නෑ අයියෙ, ඒකට කරන්න දෙයක් නෑ... එදා වුන ඇක්සිඩන්ට් එකෙන් පස්සෙ මට දරු පැටියෙක් දරාගෙන ඉන්න බැරි....
- කට වහපන්! කමක් නෑ, අපෙ ලෙයින් පැටියෙක් හදමු.. ඔයාගෙ බඩෙ වෙන්නම ඕනෙ නෑනෙ
බෑ... බෑ... බෑමයි! මං කැමති නෑ මගෙ පැටියා වෙන තැනක උපදිනවට😡
- ඉතිං ළමයො...
බෑ අයියෙ, ඔයා යන්න... මට ඔයාව තාත්තා කෙනෙක් කරන්න තරම් වාසනාවක් නෑ.
- කමක් නෑ, මං ඉන්නම් ඔයත් එක්ක.
මෝඩයා, යනවා යන්න... ඉස්සසර වගේමයි, කියන දෙයක් අහන්නෙම නෑනෙ. මං යනවා අයියෙ...

ඔයා ඒ දේ දැනගන්න ඕනෙ නැති නිසයි මං කිව්වෙ නැත්තෙ. ඒ්ත් ආයෙත් කියන්න එපා මං  නොකියා ගියා කියලා.... ඈ ආයෙමත් විසන්ධි වුනා. ආපහු කවදාවත් කතා නොකර ඉදිවී කියලා මං හිතන්නෙ නෑ, ඒත් ඒ කවදද කියන්න මට හිතාගන්නත් බෑ, එයාට හිතාගන්නත් බැරිව ඇති.

 ඈ මගෙන් ගියේ හේතුවකට, ඔව් ලොකූ හේතුවකට. ඒත්... ඒක නෙමෙයි කරන්න තිබුනෙ. මං තාම විශ්වාස කරනවා එහෙම. ඊලග දුම් උගුරෙන් පෙනහලු පුච්චන ගමන් මං හිතුවා...

Tuesday, May 29, 2018

ඔව් උඹට... | From her...


මටත් වඩා උඹ
මං ගැන හිතද්දි
මාව පරිස්සම් කරද්දි
ජීවත් වෙන්න
තව දවසකට හරි
අාසාවක්
අැතිවෙනවා සත්තයි
හිතටත් නොදැනීම...

උඹේ අතින් අල්ලගෙන
උරපත්තට ඔළුව තියාන
මං අාසම
මුළු දවසම
කියවන්න

ඉර බහින හවසක
අෑත මුහුද දිහා බලාන
උඹත් එක්ක ඉන්න
මට හරි අාසයි

ගෙවෙන හැම තත්පරයක්ම
මට ඔින
උඹෙ නමට ලියන්නයි

මොහොතින් මොහොත
ජීවිතේ ගෙවෙද්දි
මට බයක් දැනෙනවා!
උඹව මට නැතිවෙයි කියලා

අැත්තමයි
 අැස්මානෙ තියාන
රකින්න බැරි එකත්
වෙලාවකට
අසරණ හැගීමක්!

මෙච්චරයි...
මං උඹට
මහ මෙරක් තරමට අාදරෙයි!
නෑ...
ඊටත් වඩා...

                                           - දෝණි -

Wednesday, May 16, 2018

මන්දාරම් අදුර මැදින්...


ඒක ඇවිල්ලා වැහි දවසක්. දවසක් කිව්වට දවසක්ම නෙමෙයි, වැහි හවසක්. ඇදිරි වැටිලා වටපිටාව ලස්සනට තිබුනා. මං හීන් සැරේ පාර දිගේ ඇවිදන් යන්න පටන් ගත්තෙ අහස හූරගෙන වැටෙන වැහි බිංදු තඹ සතේකට මායිම් නොකර. පාරේ යන අනිත් හැමෝම කුඩයක් යටින් ඇවිදන් යද්දි මං විතරක් කඩාහැලෙන වැස්සට නිරුවත් උනා. ඒක දැකපු අය කොහොම හිතුවද කියලා නං මම දන්නෙ නෑ ඒත් මං ආස කලා වැස්සට තෙමෙන්න, වැහි පුසුඹේ සුවද විදින්න. ඒක පෙනහලු මත් කරන්නෙ නෑ කියලා කියන්න පුලුවන් කාටද?

මං ඒක ආයෙමත් කියනව.ඒක මේ දැන් ඇතිවුන හැගීමක් නෙමෙයි. මං ආසයි වැස්සෙ තෙමෙන්න, බයික් එකේ යන වෙලාවට ඇර, අනිත් හැම වෙලාවටම. ආයෙමත් මං තාර පාර දිහාවට හැරුණා. ආකාහෙන් වැටෙන පුංචි පුංචි වැහි බිංදු තද හයිය තාර පොලොව මතට වැටිලා කුඩු වෙලා බිදෙන හැටි මං බලාන හිටියා. ඒක වෙලාවකට ලස්සනයි, ඒත් ඒ වැහි බිංදුවකට කොච්චරනම් රිදෙනවා ඇත්ද. වෙලාවට ඒවාට කතාකරන්න බැරි, නැතිනං උන් විලාප දෙන හඩ මට උහුලගන්න බැරිවෙන්නත් ඉඩ තිබ්බා. ඈතිං ඉදහිට එන වාහනයක දඩ ලයිට් එලිය පාර එලිය කරන හැටි මං දැක්කේ පරණ චිත්තරපටි කෑල්ලක් වගේ. මගේ හිත කෙහේදො සමාන්තර ලෝකෙකට ඇදිලා ගියා.

මේකට හරියන්නෙ පරණ මයිනර් එකක්, නෑ... ලාන්සරේකුත් නරකම නෑ. හැබැයි ඒක ටැක්සියක් වෙන්නත් ඕනෙ. තාර පාර දිගේ එන ටැක්සිය ඈත වංගුවෙන් මෙහාට ඇවිත් ගොඩනැගිල්ලක් ලග නතර වෙනවා. ඒක පරණ තාලෙ කඩමණ්ඩියක්. ඇදිරි වැටිච්ච පරිසරයට වැටෙන වැහි බිංදුයි, තෙත් වෙලා තියෙන පාරයි ඒ මොමන්ට් එකට සිනෙමැටික් ගතියක් එක් කරනවා. කාර් එකෙන් ඉස්සෙල්ලම බහින්නෙ කෝට් එකක් ඇදගත්ත මනුස්සයෙක්, විසාල කුඩේකුත් ඉහලගෙනම. ඊටත් පස්සෙ අපි දකින්නෙ වෙනම කෝණයක්. නිරුවත් දෙපා යුගලක් අඩි උස පාවහන් එක්ක. ඒක කාන්තාවකගෙ කියලා කියන්න අමුතු ආලවට්ටං ඕනෙ නෑ. ඒ සරාගී ගතිය අපිට දැනෙන්නම ඕනෙ. ඒ දෙපා සීරුවට කාරෙකෙන් උස්සලා තෙත පොලොවට තියන්නෙ අපේ හදගැස්ම දඩබඩ ගාලා අවුල් කරලමයි. ඊටපස්සෙ කැමරාව පොඩ්ඩ පොඩ්ඩ උඩට යනවා. ඇගේ පාද වල ඉදං සීරුවට, කලු පාට සායත් පහුකරගෙන උඩට...

නෑ, උඹට ඇගේ පයොදර බලන්න ලැබෙන්න විදියක් නෑ. උඹ එහෙම හිතාගෙන ඉන්නවනං, ආපහු හැරිලා යමං... නැතිනම්... ටිකක් ඉදහං. කාර් එක හිමීට ආපහු යනවා. ඉදහිට කුඩයක් ගත්ත මනුස්සයෙක් දෙන්නෙක් පාරෙ එහාට මෙහාට යනවා පේනවා. උන්ට අර දෙන්න ගැන ගානක්වත් නෑ, මොකටද? මිනිස්සුන්ට ඕන තරම් ප්‍රශ්න තියෙනවා, කල්පනා කරන්න. පාරෙ ඉන්න කවුරුත් ගැන හිතනවට වඩා.
ආයෙත් කැමරා කෝණය කතානායක දෙසට. මනුස්සය කුඩේ අල්ලගෙන ඉන්නවා. කාන්තාව ඔහුගෙ අත බදාගෙන කතාවක. හරියට මුලු ලෝකෙම අැගේ අයිතියට ගත්තා වගේ. තත්පර කීපයකට සැරයක්ම ඇහෙන කිංකිනි හිනා හඩ, ඈ සතුටින් කියන්න තවත් සාක්කි ඔනෑ නෑ කියනවා... වැහි බිංදු තාමත් හීනියට වැටෙනවා, ඉදහිට තාමත් වාහන පාරෙ යනවා, මිනිස්සුත් හදිසියෙන් වගේ කුඩ අරගෙන දුවනවා. ඈ... නිදහසේ කතාකරනවා. ඒක හරිම රොමෑන්තික නැද්ද? ඒත් කවදාවක් එයාලා කතාකලේ මොනවද කියලා අපි දැනගන්න එකක් නෑ. ඒක හැමදාමත් රහසක් විදියට තියේවි, හැමදාමත්...


මන්දාරම් අදුර මැදින්
හිරිපොද වැහි වැටෙන වෙලේ
මා හා ඇවිදන් යන්නට
ඔබ සිටියා නම් 

තනිවම වත් යන්නට මදි
කුඩේ යටින් ඔබේ ලගින්
නොතෙමී තෙමි තෙමි සතුටින්
යන්නට තිබුනා

මග යන එන අයට හොරෙන්
ඔබෙ දෑසට එබී බලා
කොපුලේ වැහි බිදුවක රස
බලන්න තිබුනා


Friday, February 2, 2018

එන්න, නැවත පියඹන්නට...


නොසිතුවෙමි
කෙදිනකවත්
හැකි වේ යැයි
මෙමට
වාරු දෙන්නට
නැවත පියඹන්නට
ඉඩදෙන්නට
ලෝකය දකින්නට
නැවතත්
අත්තටු බිදුණ
කිරිල්ලියකට
නමුදු
වැටහුනෙමි
මායාකරුවෙක් බව
මෙමා
කළ හැකි අැයව
ෆීනික්ස්
අාදර යෂ්ටියෙන්
නොදොඩා වදනකුත්
නොපෙන්වා "ටියුටෝරියල්"
නොඑල්වා "L" බෝර්ඩ්
රැගෙන යන්නම්
දුර අෑත අාකාහෙට
අල්වා සුසිනිදු
තටුවකින්
කියලා දෙන්නට
නැවත පියඹන්නට
පරිස්සමින්
හැමදාමත්
මාත් එක්කම... 

Sunday, January 28, 2018

අාදරණීය තනි තරුව


අනන්තය තෙක් හුදකලා වූ
අදුරු හිස් අහසට
පැමිණයත්
සුළි සුළං
අහස් කුණාටු
විදුලි අකුණු
හෙණ හඩ නගමින්,
පෑයූවත් ඉදහිට
වල්ගා තරු,
අැදී ගියත්
රවුම් ගසමින්
චන්ද්‍රිකාවන්,
පෑයූ එකම තරුව
ඔබම විය
අැස් ගගහ දිලුණ,
අහස්කුස
තනිකම මකාලූ
හදවතේ
වේදනාවන් පිරියම් කළ
හැකිනම් රැදෙන්නට
හැමදාමත්
දැල්වී නොනිමී
අවසන් බලාපොරාත්තුව
එයමය
මියැදෙමින් පවතින
"නපුරු" අහසට...

Wednesday, January 17, 2018

සමනල වැව පුරවන්නට...



මධූ... මං එයාට කතා කලේ එහෙම.මං දන්නෙත් එච්චරයි.ඊටත් වඩා දෙයක් මට කියලා තිබ්බෙත් නෑ.මං අහන්න ගියෙත් නෑ.ඒත් අනිත් හැමෝම එයාව දන්නේ ඒ නමින් නොවන විත්තිය විතරක් මම දැනන් හිටියා. අපි මුණගැහුනෙ අහම්බෙන්, එදා ඉදන් මාස ගානක් තිස්සෙ කතා බහ කලත්... ඉදල හිටලා හම්බෙලා කතාබහ කරලා  බයිසිකලෙන් ලිෆ්ට් එකක් දුන්නත්, බයිසිකලේ යන ගමන් අමාරුවෙන් හෙල්මට් එක ගලවලා හාදුවක් ඉල්ලගත්ත ඇරෙන්න කිසිම දෙයක් අපි අතරෙ තිබ්බෙ නෑ. ඒත්, ඒ සම්බන්ධය ස්පර්ශයකින් එහාට ගිය ආත්මීය, නමුත් හරිම කම්ප්ලිකේටඩ් අෆෙයාර් එකක් වෙන්න වැඩි කාලයක් ඕන උනෙත් නෑ. මාස දෙක තුනක් වගේ ඇතුලත මට විදේශගත වෙන්න සිද්දඋනා.මාස කීපයකට, කොටින්ම කියනවනං මොණරු හොයාගෙන දුක් විදින්න.මට පැය 24ම වගේ වැඩ කරන්න සිද්දඋනා.දුරකතනයක් අල්ලන්නවත් ඉඩකඩ ලැබුනෙ සතියකට දෙකකට සැරයක් විතරයි.ඒත් ඒ විනාඩිය දෙක මං නාස්ති කලේ නෑ, ඉඩක් ලැබුන හැම වෙලාවෙම ඇමතුමක් ගන්න.දුරකතනයෙ එහා පැත්තෙ ඇහුන ඒ කටහඩට පුලුවන් උනා මගෙ හිත හාරගෙන යන්න.ඇත්තටම කියනවනං පැය විසි හතරම පිස්සෙක් වගේ දුවන මගේ ඇග ඇතුලට "කූලන්ට්" ටිකක් දාන්න.ඇස්වල කදුලු බිම තෙත් කරන්න කලින් ඒවා අල්ලගන්න.

මේ විදියට ජීවිතේ ලස්සනට ගෙවිලා යද්දි මධූට කැම්පස් යන්න ලියුම ආවා.ඒකත්, සබරගමුව සරසවියට. ඒකට එයාටත් වඩා සතුටු උනේ මම. එදාට ලග ඉන්න බැරි උනත් පුලුවන් හැම විදියෙන්ම මං ප්‍රාර්ථනා කලෙ හොදට වැඩ ටික කරගන්න ලැබෙන්න කියලයි.මට මාස දෙක තුනකට සැරයක් ලංකාවට එන්න නිවාඩු හම්බුනා.ඒ එන හැම සැරේම මධූව බලලා යන්න මං අමතක කලෙත් නෑ, එයාත් එහෙමයි.

සමනළ වැව පුරවන්නට
බෙලිහුල් ඔය ගලා ඇවිත්
ආදර කඳු තරනය කර
දෙහදක් අද වෙන්ව ගිහින්
සුවඳ හදේ රඳවලා...යන්න ගිහිල්ලා...

හැමදේම වෙනස්වෙන්න ගියෙ පොඩි කාලයයි.හදිසියෙම මට අසනීප වුනා. ඒ රට ඉද්දිමයි, මට රැකියාව කරගන්න තියා ඇවිදගන්නවත් බැරි තරමට කකුලේ ආබාධයක් ඇතිවුනා. මට සිද්දඋනා රෝහල්ගතවෙන්න. සතියකට දෙකකට පස්සෙ මධූගෙ දුරකතනය වැඩ කරන්නෙ නැතිව ගියා. මට හිතාගන්න බැරි උනා මොකක්ද වුනේ කියල. තොරතුරක් දැනගන්න විදියක් තිබ්බෙම නෑ. ආයෙමත් මාස දෙක තුනකට විතර පස්සෙ මට පුලුවන් උනා ලංකාවට එන්න, කකුල හොද කරගෙන. මං ඇවිත් එයා ගැන විස්තරයක් හොයන්න ගත්තා, ඒත්... මං දැනන් හිටියෙ එයාගෙ නම විතරයි, අඩුගානෙ ගෙවල් තියෙන තැනක්වත්, යාලුවෙක්වත් හරියට දැනගෙන හිටියෙ නෑ. මං දන්න කියන හැම කෙනෙක්ටම එයාගෙ ෆොටෝ යැව්වා, විස්තරයක් ඇහුවා. ඒත් එයාගෙ නම, "මධූ" කියලා කෙනෙක්ව කවුරුවත් දැනං හිටියෙ නෑ. සමහරු එයාගෙ ඡායාරූපය අදුනගත්තට, ඉස්කෝලෙන් ගියාට පස්සෙ විස්තරයක් දැනං හිටියෙ නෑ.මාව කරකවලා අතඇරියා වගේ උනා.

නිවාඩුවෙ දවසක, මට හදිසි වැඩ වගේකට බදුල්ලට යන්න සිද්දඋනා . බදුලු බස් එකට ගොඩවෙලා ගොඩවෙලා බලන්ගොඩ හරහා බදුල්ල පාරෙ යද්දි මගෙ මතකය ආයෙත් හීනියට රිද්දන්න පටන්ගත්තෙ පඹහින්න හංදියට ලංවෙද්දිමයි.

පහන් තරුව පායාවිත්
ඔබ එන බව පවසන විට
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා
සුවඳ හදේ රඳවලා...යන්න ගිහිල්ලා...

ආයෙත් මාස ගානක් නන්නාඳුනන රටක මට තනිවෙන්න උනා.ඒත් කවරමදාකවත්, මට එයාව අමතක වුනේ නෑ, එහෙම කරන්න පුලුවන්කමක් තිබුනෙ නෑ. හදිසියෙම දවසක සති අන්තෙක, මට නන්නාදුනනා අංකයකින් ඇමතුමක් ආවා.

"අයියේ," ඒ කඩහඩ...😓😓😓 මාව වෙව්ලන්න ගත්තා,
"කොහෙද හිටියෙ මෙච්චරකල්"

ඒ ගතවුන මාස කීපයට මං එයාව හෙව්ව තරම්, ඒත් කවරමදාකවත් හිතුවෙ නෑ මේ වගේ දෙයක් අහන්න වෙයි කියලා.ඒ වගේම කවරමදාකවත් හිතුවෙ නෑ මං ඔයාට මෙච්චර ආදරේ කරයි කියල, මට එහෙම දැනෙයි කියලා.ඒත්... මධුට දැන් ඇවිදින්න බෑ කියලා දැනගන්න තරම් මං කරපු පව මොකක්ද?

ඒ ඇමතුමෙන් පස්සෙ ආයෙත් ඔයා අතුරුදහන් උනා.මං කොච්චර කිව්වත් මට ඔයාව බලන්න ඕනෙ කියලා, ඒ මුරණ්ඩු කෙල්ල ඒක ගානකටවත් ගත්තෙ නෑ. මට ඕන උනා ඔයාව  මගේ ලගට අරං ආදරෙන් බලාගන්න, හැමදාටම. ඒත් එයා අතුරුදහන් වෙලා ගිහින් කාටත් නොකියාම...ඒත් මං තාමත්, නිවාඩුවට ලංකාවට ආවම අපි අන්තිමට හමුවුන ඒ හංදිය ලග බස් හොල්ට් එකට වෙලා බලන් ඉන්නවා, කොයි මොහොතක හරි ඔයා ආයෙත් මතුවෙයි කියලා.

පෙර දින අප හමුවූ තැන
නටඹුන් පමනකි කඳුළක
කඳු අතරේ වළා රොදක ඔබ සැඟවීලා
සුවද හදේ රඳවලා..යන්න ගිහිල්ලා...