ඒක හරිම නිස්කලංක හැන්දෑවක්! මිනිස්සු සල්ලි හොයලා
හැල්මෙ ගෙදර දුවලා ඉවරයි. ඉරත් එයාගෙ රාජකාරිය අහවර කරලා හැංගිලා ගිහින්. අපේ
තනියට හිටියෙ තරුවක්වක් පායලා නැති කලුවර අහසයි, පෙන බුබුලු
නංවන රළ පහරවලුයි විතරමයි. ඉදලා හිටලා පැය බාගයකට විතර සැරයක් එහාට මෙහාට යන
කෝච්චියත් හූම් සද්දයක් නැතිව අපිව පහුකරන් ගියේ, බාගදා අපිට
කරදරයක් වෙයි කියලා හිතලා වෙන්නැති...
ඈව පළමු වතාවට දැකපු මොහොත මට තාම මතකයි! හෙල්මට් එක
අස්සෙන් ඇගේ නෙත් ගෑවුන මොහොත.. ඇගේ ඇගිලිතුඩු වලින් මා වෙලාගත් විදිහ... ඒක හරිම රොමෑන්තික මතකයක්!
ඔයාට මං පොඩි දෙයක් ගෙනාව. ඈ මොකුත්ම අරන් එන්න තහනම්
කලා කියල දැන දැනත් මං බෑග් එකෙන් එලියට ගත්කෙ ලස්සනම ලස්සන රතු රෝස මලක්! ජීවිතතේ පලමු වතාවට ගෑණු ළමේකුට දෙන කුළුදුල් රෝස මල මං ඈ අතින් තිබ්බා. ඈ අනෙකතින් ඇස් දෙක වහගත්තා... ඒක තරහකට නම් නොවන වග මට විශ්වාසයි....
මං පොරොන්දු වෙනව! පුපුරන්න තරම් පීඩනයක් එන හැම වෙලාවකම
මං ඒක අකුරු කරනව කියලා, මුතුබෙල්ලා මුතු බිහිකරනව වගේ.. කවදාවත් ඒක ඔයාගෙ පිටින්
යන්න දෙන්නෑ කියලත්...
ඈ ඇගේ සිනිදු ඇගිලිතුඩු වලින් මගෙ බාහුව බදාගෙන මා දිහා
බැලුවා. ඇගේ දිලිසෙන ඇස් මොන මොනවදෝ කියන්න යත්න දැරුවා. මං ඇගිලි වලින් හිමීට
ඇගේ කම්මුල අතගෑවා.
"දන්නවද? මේ ලෝකෙ ලස්සනම හිනාව
තියෙන්නෙ ඔයාට" මං ඈ දිහා බලන් කිව්වා. ඒක ඇත්ත.. ඈට තිබ්බෙ හරිම ලස්සන
හිනාවක්!!!
කොහේදෝ ඉදන් ලැජ්ජාවක් ඇවිත් ඈ මූණ හංගගෙන මගෙ උරහිසින් ඔලුව තියාගත්තා...